07 June 2014

තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා

පියෙකු දෙ  උර නැග   ගත්  සිඟිත්තෙකි . පුර පසට හැරුණු අඩ  සඳ , අහසේ කොනක , දුහුල් සේලයකට මුවාවූ නව යෞවනියක සේ , ලජ්ජාවෙන් වලා කුලකට මුවාවී සිටින්නීය . නුවර අත්තා ගෙනවිත් දුන් ඔලිඳ ඇට මල්ල , මැද  සාලයේ ඉහිරුන විටෙක් මෙන් , අහස පුරා ඉහිරුන තරුය . දෙසවන් පිරෙන්නට රැහැයියෝ ගයති . 

බොරළු මතු වූ මාවත දිගේ ඔවුහු ඇවිද යන්නාහ . පියාගේ ඇවිදීමේ වේගයටම , ඔහුගේ බිරිඳද පසුපසින් වැටිලාය  . ඈ , තම වෙහෙස , නැගෙන හතිය සඟවා ගන්නීය . ඈ නෙත් යොමුවී ඇත්තේ , පුතු දෙසය .

"ලජ්ජුලුවෝ උද යි , උදයි ...." සුරතල් බසින් කොලුවා කෑ ගසන්නේය 

" පුතා කියන්නකෝ අර කවිය " අප්පච්චි පෙරැත්ත කරන්නේ , කෙතරම් ඇහුවත් , ඇති නොවෙන ඒ කවිය නැවත ගායනා කර ගැනීමටය .

කොලුවා කවිය පටන් ගන්නේය .
"තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා ආ ආ ..කතු කැලේ  ඒ ඒ ඒ ඒ ...". රැහැයි  ගීය  මදකට නතරවූ සෙයකි 

අප්පච්චිගේ මුහුණේ මද සිනාවක් ඇඳෙයි . ඔහු මව දෙස බලන්නේය . ඈ සිනහවෙමින් කොලුවා ගේ පිට පිරිමදින්නිය 
" හා හා පුතු වැනෙන්න එපා , අප්පච්චිට අමාරුයි ...දැන් ඔයා වැටෙයි ..". මව් සෙනෙහස පිය සෙනෙහසට වඩා වෙනස්ය . එය වැඩියෙන් පරිස්සම්දායකය .

"හරි හරි පුතු කියන්න ..."

" කතු කැලේ , ගාලේ නොලිහා වද  දෙනවා ". 
කොලුවාට ඊළඟ පදය අමතක වූ සෙයකි .
"හපුතලේ ...." පියා ඔහුට එය මතක් කර දෙයි 

"අපුතලේ , කන්ද දැකලා බද දානවා ආ ආ ආ  . පවු කල ගොනෝ ඕ  ඕ  ඇදපන් න් න්  . අපුතල් ල්  ල්  යනවා ආ ආ ආ .."

"අප්පත්ති ..."

"ඔව් පුතු ?"

"පව් ගොනා ...."

"හ්ම්ම් "

මවකගේ ලයින් පිටවූ සුසුමක් රෑ කළුවරේම  පරිසරයට එක් වුයේ හොරෙන් ය . ඒත් සඳවතියට එය දැනුනි .



පලි 

කාලය එක්දාස් නවසිය හැත්තෑව දසකයේ අගය . මේ යුවල රජයේ ආයතනයක සාමන්‍ය  රැකියා කරන , කුලී නිවෙසක තම ජීවිතය පටන් ගත් දෙපළකි . දහසක් බලාපොරොත්තු සිත්හි ගුලිවුණු ඔවුන්ගේ ජිවිතයේ , කිරුළ  තම කුළුදුල්  පුත්‍රයාය . ඔහුට අවුරුදු තුනකි . සතියේ බොහෝ දිනවල මෙන් , රාත්‍රී ආහාරයට තම සහෝදරයාගේ නිවෙසට ගොස් , අල්ලප සල්ලාපයෙන් පසුව , කොළඹ තන්තිරි මාවත දිගේ නැවත තම නිවෙසට පැමිණෙන ගමනකි මේ . 
මොවුන්ගේ ජීවිතය පඩි දිනයෙන්  පඩි දිනයට  , හපුතල් කන්ද නගින දෙබානගේ ජිවිතයට එතරම් වෙනස් නැත . එහෙත් වෙහෙස නොබලා ඔවුන් දිවි ගැල  අදිති .

පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා , ඒ කොලුවා මමය . මේ කරත්ත කවිය මා කුඩා දිනවල නිතරම කියූ දැනටත් හිතේ ගැඹුරකටම  දැනෙන එකකි 


18 comments:

  1. පසුබිම් කතාව නිසා බොක්කට මක්කද උනා..

    ReplyDelete
  2. අපි හැමෝටම මෙහෙම කතන්දර තියෙනවා නේද කියලා හිතෙනවා.

    ReplyDelete
  3. අතීතකාමය තව තවත් ඇවිස්සෙන්නට නියමිතය.

    ReplyDelete
    Replies
    1. irrelevant ද මන්දා. කාමෙසු මිච්චා චාරා කිව්වම අතීත කාමයත් අයිතිද?

      Delete
  4. මතක ඇවිස්සිලා සුසුම් පිට වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකත් හිත නිදහස් කර ගන්න පිට කරපු සුසුමක්

      Delete
  5. අපි හැමෝගෙම කතාව ඕක වෙන්නැති ඉස්සර කාලේ. අමාරුවෙන් ගැල ඇද්දත් අද තරම් අපේ අම්මලාට විඩාවක් තිබුනේ නෑ කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විඩාවක් තිබුනේ නැද්ද විඩාව ගැන නොසිතු නිසා දැනුනේ නැද්ද මන්දා.
      feeling tired was not an option

      Delete
  6. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කාට හරි කියන්න හිතෙනවා

      Delete
  7. අපේ අම්මයි තාත්තයි ඇත්තටම හපුතලේ කන්ද ඇද්ද බන්.. :) අපි පොඩි කාලේ හිටියේ හපුතලේ..

    ReplyDelete
    Replies
    1. ඒක මාරයි

      Delete
  8. පසුබිම් කතාව නිසා බොක්කට මක්කද උනා..

    ReplyDelete
    Replies
    1. මේ මගේ කතාවක්. ඔබේත් කතා ඇති..

      Delete
  9. කොනිත්තන්න එපා ජාලිය....
    අමාරුවෙන් අල්ලගෙන ඉන්නේ :-(

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න කෙනිත්තුවා නොවේ. සුසුමක් පිට කලා ටිකක් සද්දෙට

      Delete
  10. මේ කවියට සම්බන්ධ අත්දැකීමක් තියනවා මටත්... ගොනාටම සම්බන්ධයි.. හැබැයි මේ වගේ දුක හිතෙන එකක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ව්ෙන්
      වෙන ජාතියක ගොනෙක්දෝ කියා සිතිනි

      Delete

Have commented