01 May 2015

මැයි දිනයක කතා

කතාව 1

රණේ වේදිකාවේ ඉදිරිපෙළ අසුනකින් වාඩිවි, සුදු සරමේ රැලි සකසා ගත්තේය. සුදු ලේන්සුව ගෙන මුහුණේ නැගුනු දා බිඳු පිස ගත්තේය . ඔහු බොහෝ අමාරුවෙන් ගෙල හරවා පසුතලය දෙස බැලීය . 

"දුන්න ගානට හොඳට කරලා තියෙනවා" ඔහු තමාටම කියා ගත්තේය .

 " වැඩ කරන ජනතාවගේ මැයි  දිනය " පොල් අකුරෙන් පසුතලය පුරා ලියවී ඇත . 

ඇත්තටම මොනවද මම ජිවිතේ වැඩක් කියලා කරලා තියෙන්නේ ... මහජන දිනය , පාර්ලිමේන්තු යන එක , ආසනේ කැම්පේනින් ... මේවත් ඉතින් වැඩනේ ....
සිතුවිලි සයුරක නිගම්න වී සිටි ඔහු පියවි ලොවට ආවේ , උරට කවුදෝ දැමු තට්ටුවකිනි ...

"වැඩකරන ජනතාවගේ නායකයා ...පිළිගන්න රණතිලක මැතිතුමා ".... ඒ වනවිටත් නිවේදකයා හැඳින්වීම හමාර කර තිබුණි .



කතාව 2

පුතේ නැගිටහන් , දැන් එකොළහත් පහු වෙලා  


හරි මහන්සියි අම්මේ , ඊයේ මේ බෑග් එක උස්සගෙන රෑ  වෙනකන්  ඇවිද්දා ටාගට් කවර් කරන්න 

අද මැයි දිනේ , වැඩ කරන මිනිස්සුන්ගේ දවසනේ . ඉස්සර උඹේ අප්පච්චි මැයි දිනේට රතු කමිසයක් ඇඳ ගෙන උදේම ගියාම එන්නේ රෑ  වෙලා 

ඒ වුනාට සේල්ස් රේප් ලා වැඩ කරන මිනිස්සු කැටගරියට වැටෙන්නේ නෑ අම්මේ 


 කතාව 3

වේලාව සවස 5ට විතරය . ආපණ ශාලාවක අඳුරු කෙලවරක මේසයක් වටේ හිඳී  තිදෙනෙකි . මේසය මත කාලක් ඉතුරුවූ අරක්කු බෝතලයකි. එක අයෙක් මුහුණ පුරා වැවුණු සුදු රැවුලින් යුතුය , අනෙකා නැෂනල් එකකින් සැරසි සිටින්නේය , තෙවැන්නා ඔවුන් දෙදෙනාට වඩා තරුණය. කට වට කර පරෙස්සමට වැවූ   ලෙනින් කට් එකක්ය . 

නැෂනල් කාරයා නිහඬතාවය බින්දේය  "මම මෙතන ඉන්නවා කවුරු හරි දැක්කොත් තමා වැඩේ "
"එතකොට අපි ?" සුදු රැවුලා  ඇසුවේය 

"සහෝදරයා ඉතින් වාමන්ශිකයෝනේ "

ලෙනින් කට් කාරයා බැදපු මිරිස් කරලක් හැපුවේය " මම අරූටත් එන්න කිව්වා ..කොහේද  පස්වෙනි සිල් පදේ බිඳෙනවා කිව්වේ "

තිදෙනාම මහා හඬින් සිනා සුනහ 

ඒක නෙමෙයි සහෝදරයා මෙහෙම යනකොට අපිට ආසාවට වත් කෑ  ගහලා කතාවක් පවත්වන්න චාන්ස් එකක් නැතිවෙයිද 

සහෝදරයා එහෙනම් අපි දොළ දුක සංසිඳෙන්නත් එක්ක සින්දුවක් කියමුද 

"සා දුකින් පෙලෙන උන් , දැන් ඉතින් නැගිටියව් .."

හා හා කැරකිලා දෙකට නැමිලා 



7 comments:

  1. හැම මැයි පලවෙනිදාම සිදුවෙන එත් කිසි කෙනෙක් නොදකින, කිසි කෙනෙක්ට නොපෙනෙන යතාර්ථය.

    ReplyDelete
    Replies
    1. දැන් ඒකට ජාතිවාදයත් පටලලා

      Delete
  2. වැඩේ කියන්නේ මුන්ව බිත්තියකට හේත්තු කරලා වෙඩි තියලා දැම්මත් ගරු ගාම්භීර අවමංගල උත්සව තමා ලැබෙන්නේ මුන්ට.

    ReplyDelete
  3. කාලය ගෙවී යයි. අපි වයසට යමින් සිටින්නෙමු!

    ReplyDelete
    Replies
    1. අන්න පරම සත්‍යය . ඒත් සමහරුන්ගේ අදහස් නම් මුහුකුරා ගිහින් නෑ

      Delete
  4. මේ ළඟදි කැපිච්ච සම සමාජ කාරයෙක්ගේ මළ ගේ වෙලාවෙදි, වාසුදේව, සාදුකින් පෙලෙන උන් ගීතය ගායනා කලා ලූ...

    ReplyDelete
    Replies
    1. මාතලන් දැන් ඒ සිංදුවේ පද පොඩ්ඩක් වෙනස් කරලා

      "සාදු කිං වඳින උන් ..."

      Delete

Have commented