21 September 2015

ලජ්ජා බය ( සේයා ගෙන් ඔබ්බට )








මා මේ ගැන ලියනවිට , හරකා මරා , හම ගසා , මස් කර , කුට්ටි කර , හොද්දද ලිපේ තබා අවසන් වුවද , මගේ අදහසද ලියන්නට මා හිත වද කළේය .

අර පුංචි කෙල්ලගේ මිනිය වලලා , හත් දවසේ දානෙත් දෙන්න ලෑස්ති වෙන විට , තවමත් කට්ටියක් මිනිය කරේ තියාගෙන යනවා යයි විටෙක සිතේ . ඒත් ඇයගේ  මරණයෙන් ඔබ්බට ගිය සමාජ ප්‍රශ්නයක් අප ඉදිරියේ ඇතැයි මම සිතමි .
එක් මිනී මැරුමක් ,  දරුණු අපරාධයක් . දෙවැන්නේ සිට එය දත්තයන් බවට පත්වේ යයි අයෙක් කියා ඇත .

දත්තයන් ලෙස මෙවැනි සිද්ධි ඉවත දමන්නට ප්‍රථම, ප්‍රශ්න මුලයන්ට පිළිතුරු සෙවිය යුතුයැයි  මම සිතමි . ඒ සංවාදයට , මගේ සත පහද මෙසේ එක් කරමි .

කතාවකින් පටන් ගනිමු

ඔන්න එක ගමක ජෝඩුවක් හිටියා ලු . රන් මැණිකයි , පොඩි අප්පුයි කියමුකෝ  . මේ අප්පු ඔහුගේ බිරිඳට හරිම ආදරෙයි ලු . හැබැයි ප්‍රසිද්ධියේ පෙන්නුවේ නෑ ලු . බොහෝ දින රාත්‍රියට , මැණිකා පැදුර එලන පරක්කුවට ලාම්පුව නිවන අප්පු ඈට  බොහෝම ස්නේහයෙන් සලකනවාලු  . මැණිකා ගෙනුත් කිසිම මැසිවිල්ලක් නෑ ලු  ඒ අංශය ගැන නම් . ඒත්  වැඩ  නිමා කරලා  අප්පු , මැණිකාගේ ඔලුවත් අත  ගාලා , දොර වහගෙන එලියට ඇවිත් , පිලේ බූරු  ඇඳේ  නිදා ගන්නවා .  වටේ පිටේ එවුන් දකින  හැම වෙලාවේම මැණිකා ගේ ඇතුලේ , අප්පු පිලේ . වැඩි දොහක් ගියේ නෑ  වටේ පිටේ අයියලා , කඩේ මුදලාලියා  විතරක් නෙවෙයි පන්සලේ නාකි ඇබිත්තියත් , මැණිකාට අයුතු යෝජනා ගෙනෙන්න, බැද්ද ඇතුලේ පොකුණු පෙන්නන්න ගෙනියන්න වගේම දවල් කරේ ගෙට එන්නත් පටන් ගත්තේ ,  "උඹේ මිනිහා උඹට සලකන්න දන්නේ නෑ" කියාගෙන ලු . 
බැරිම තැන රන් මැණිකා හොඳට දත් පාර හිටින්න , තමන්ගේ අත පය පොඩ්ඩක් විකා ගත්තා ලු . කරදර එතනින් නැවතුනාලු 
ආදර්ශය : අරක කොරාට වැඩක් නැත , කොරන බව පිටත පෙනෙන්නත් ඕනෑය 

නීතියත් එසේමය . තිබුනාට වැඩක් නැත , තියෙන බව , මිනිස්සු පිළිපදින බව පෙනෙන්නට ඕනෑය .

නමුත් මේ කියන්නේ අර කට්ටියක් කියනවා වගේ අපරාධ කරුවන් එල්ලන්න කියන එක නොවේය .

අපරාධ වැලැක්වීම හා අපරාධයන්ට දඬුවම් දීම යනු (එකිනෙකට බැඳුනු ) එහෙත් වෙනස් සංකල්පයන් දෙකක් යයි මම සිතමි. ලංකාවේ බොහෝ දුරට මේ දෙක පැටලී ඇත . ඒ මුලිකව අපේ පොලිස් සේවය (මෙය එම දෙපාර්තුමේන්තුවේ කාර්යක්ෂමතාවය ගැන නොව) බ්‍රිතාන්‍යයන් එය පිහිටවූ මුලික අභිප්‍රායෙන් ඔබ්බට ගෙන ඒමට නොහැකි වී ඇති බැවිනි . 
හොරුන් ඇල්ලීමට මිස හොරකම් වැලැක්වීම ගැන පොලිසිය උනන්දුවක් නොදක්වන්නේ , සැම හොඳින් වැඩුණු ගසක් පිටුපසම පොලිසියෙන් හැංගි  සිටින්නේ එබැවිනි . එය හිතන විදිය (mindset) වෙනස් කිරීමකි . එය අසීරුය .

බය 

දඬුවමට බයෙන් වැරදි නොකර සිටීම , අතීත රාජාණ්ඩු වල තිබු ක්‍රමයයි ( තෙතිස් වද ) . නමුත් නූතන  සමාජීය සංස්කෘතික පරිනාමයත් සමග  සංකල්පයමය වශයෙන් ලොවම එතනින් බොහෝ දුර ඇවිත් ඇත . 

ශ්‍රී ලංකා පොලිසියට අප බයය , ඒ අපරාධ වලට දඬුවම් කරාවියැයි කියා නොවේ . පොකට්ටුවේ තියන තුට්ටු දෙකට තට්ටු කරයි කියාය . ඒ නිල ඇඳුම සංකේතවත් කරන්නේ නීතියේ ආධිපත්‍යයයි . ගෞරවය ලබා ගන්නා ක්‍රම දෙකක් ඇත , වර්ණපාල ක්‍රමයද ඉන් එකකි . මෙහිදී එය පාවිච්චි කිරීමද එතරම් වරදක් නැත . ඒ බය ඇතිවූ පසු , පොලිසියේ presence  එක වැඩි කිරීමෙන් අපරාධ කිරීමට ඇති බය නිරතුරු මතක් කර දිය හැක . එසේ නොමැතිව නම් අඩියෙන්  අඩියට පොලිසියෙන් දැම්මත් වැඩක් නැත .
අනෙක අප සියලු දෙනාගේ පැතුම මෙවැනි අපරාධ ඇති වීම වැලැක්වීම මිස , වුවහොත් ඉක්මනින් අපරාධ කරුවා අල්ලා  ගැනීම නොවෙයි මම සිතමි. එසේ නම් එය කල හැක්කේ කෙසේද .එය කල හැක්කේ , බය පමණක් නොව , ලැජ්ජාව ද ඇති කිරීම මගිනි . 

ලැජ්ජාව  

ළමයෙකුට කන විදිය , කතා කරන විදිය , ශරීර කෘත්‍ය කරන විදිය, නිවැරදිව පාර පනින විදිය හා සම්බන්ධ හර පද්ධති ඉගැන්විය හැකි නම් ලිංගික සදාචාරය ඉගැන්විය නොහැක්කේ මන්ද ?  එය පාසල් වල ලිංගික අධ්‍යාපන විෂය යටතේ ඉගැන්විය යුතුමය . මේ හරයන් සමාජයට පත්තියම් වෙන්න පරම්පරා දෙකක් තුනක් යාවී  . ඒත්  එය නිසැකවම වේවි . (අද ඇති මුලික ප්‍රශ්නය  මෙවැනි හිංසනයන් , හැසිරීම්  ගැන විවෘතව කතා කිරීමට , අපි එවැනි අපචාර කරන එකාට වඩා විටෙක ලජ්ජා වීමය ) . මාධ්‍යයේ වගකීම එයය , මිනී විකිණීම නොවේය . 

මෙවැනි දේ සමාජය නොරුස්සන දේ නොව නොඉවසන දේ බවට පත්කළ යුතුය ( untolerable instead  of  dislike ). ඒ සඳහා සමාජ ආකල්ප ගොඩනැගිය යුතුය . ගමේ පන්සලේ බණෙහි , පල්ලියේ දේශනයෙහි මේවා ගැන කතා කල යුතුය ( තම කිල්ලෝට වලත් හුණු තියාගෙන මෙය කළ  හැකිදැයි යන්න ද ප්‍රශ්නයකි )


ඉන් ඔබ්බට 
අපරාධ වැලැක්වීම ගැන ප්‍රසිද්ධ කියමනක් නිව් යෝක් නුවර පුරපති මයිකල් බ්ලුම්බර්ග්  කළේය . ඔහු කීවේ බ්රුක්ලින් පෙදෙසේ අපරාධ බහුල පෙදෙසක් ගැන සඳහන් කරමිනි . ඔහු කීවේ "කොල්ලෝ ගල් ගහලා ජනේලයක වීදුරුවක් කැඩිලා තිබ්බොත් , මම රජයේ වියදමින් එය සදා දමනවා . නැතිනම් හෙට තව ජනෙල්  දෙකකට ගල් ගහයි . ඊට පස්සේ එකෙන් ඇතුලට පනියි " කියාය . මෙහි ඇත්තක් නැත්තේම නැත . වෙනස් කම් ස්ථාපිත කිරීමේ ( විශේෂයෙන් ඇවතුම් පැවතුම් හෝ සංස්කෘතික ඝනයේ) ප්‍රධාන ක්‍රමෝපායක් වෙන්නේ එහි සාර්ථකබවේ උදාහරණ ( success  stories) ප්‍රචලිත කිරීම හා අසාර්ථකවූ සිදුවීම් පෙනෙන්නට නොසැලස්විමය. නමුත් මළකුණු විකුණන්නන් කරන්නේ කැඩුණු ජනේල සාමාන්‍ය කරණය කිරීමය .

මගේ අදහස මේ අපරාධ නැවැත්වීමේ මුල් පියවර , අප පවුල් තුලම ගත යුතු බවය. මේ මරණය ගැන දුක් වෙන , ආවේග ශීලි වන අප, මේ ගැන අපේ ගෙවල් වල කතා කලේ මොනවාද?  නිත්‍යා ගේ වයසේ , සේයා ගේ වයසේ අපේ පොඩි එවුන් දැනුවත් කලාද මෙවැනි පුද්ගලයෙකුට අහු වුනොත් මොනවා කරන්නද කියා? පොඩි එවුන් ගැවසෙන තැන්  වල ගැවසෙන්නවුන් ගෙන් උන් පරිස්සම් කර ගන්න අපි යම් වැඩ පිළිවෙලක් යෙදුවාද?  අඩුම තරමේ මෙවැනි ආසාවන් විකෘති ආසාවන් බව . එවැන්නන් රෝගීන් බව වත් අපේ කොල්ලන්ගේ හිත් වලට කාවැද්දුවාද ? 

අනෙක් හැම දේ වාගේම , අපරාධ වලක්වා ගැනීමේ ඉදිරි මෙහෙයුම් වළල්ල (Front defence line)  , අපි මය 

15 comments:

  1. කතාවනම් ඇත්ත ය. ඒත් මේ පවුලෙන්, ආගමෙන්. මාධ්‍යවලින් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මන්දා ! හැඩැයි කොහෙන් හරි පටන් ගන්නත් ඕන. නැත්නම් මේ චක්‍රය ම තමයි ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අපිට පුළු පුළුවන් දේ වත් කරමු

      Delete
  2. කියල ඉවර කරන්නත් අමාරු තේරුම් කරලා දෙන්නත් අමාරු ඇත්ත කතාවක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය කියන තරම් ලේසි වත් . පිළිතුර හිතන තරම් සංකීර්ණ වත් නැති බවයි මගේ හැඟීම

      Delete
  3. දියුණුම ශිෂ්ඨසම්පන්න රටක උනත් මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නැතත් දියුණුමයි කියන සමාජවල අය උන්ගේ රටේ මේ දෙවල් නොකලත් ආසියාවේ රටවලදී මේ අපරාධ කරනවා. පීඩෆයිල් පොරවල් හා පොරියවල් වියට්නාමෙන්, කාම්බෝජයෙන්, තායිලන්තෙන් වගේම අම්මට සිරි ලංකාවෙන් මතු වෙන්නෙත් ඒකයි. අපේ රටේ නම් දැන් ඇත්තෙම නැති තරම්. ඒත් අනෙක් රටවල මාර මාකට් එකක් තියෙනවා මේකට. එතකොට අපි බලන්න ඕන, ඇයි උන් උන්ගෙ රටවලදි මේවා කරන්නේ නැත්තේ ඇයි කියලා.. තියෙන නීතී රීතිද, සංස්කෘතියද, හැදියාවද එහෙම නැත්නම් මිනිස් අයිතිවාසිකම් වලට ගරු කිරීමද එහෙම නැත්නම් වෙන දෙයක්ද කියලා.. මිනිස්සුන්ගේ ආශාවන් වල නිමක් නෑ.. ඒත් ඒවා කොන්ට්‍රෝල් කා ගන්න පුළුවන් සිතිමේ ශක්තියක් තිබීම තමයි මිනිසා හා තිරිසනා අතර වෙනස.. ඒත් මේක නම් අමු තිරිසන් සමාජයක්..

    ReplyDelete
    Replies
    1. හැම තැනම මේවා වෙනවා ... හැබැයි ඔබ කීවා වගේ ගොඩක් උන් උන්ගේ රටවල නොකර අපේ රටවලට ඇවිත් මේවා කරන්නේ ඒ රටේ කලොත් සමාජයේ උන් දිහා බලන විදියත් එක්ක උන්ට අයෙත් එහෙ ජිවත් වෙන්න බැරි නිසා කියලයි මම හිතන්නේ . අනික එහෙ කලොත් අහුවෙන්න තියෙන ඉඩත් වැඩියි . සමාජය ඒ ගැන සවිඥානයි .සමහර ගෝත්‍ර වල තම නව යොවුන් දු වරුන් සම්බන්ධයෙන් පියවරුන්ගේ හැසිරීම අපි අනුමත කරන්නේ නෑනේ . අපි සමාජයක් හැටියට දේශපාලන මතයට , ආගම් යයි කියා ගන්නා දේට පෙළ ගැහෙන්න ඉස්සෙල්ලා , අපි අනුමත කරන හැර පද්ධතීන් සඳහා පෙළ ගැසිය යුතුයි කියා මම හිතන්නේ .

      අතුරු කතාවක් , උඹට පෙනෙනවද පොලිටික්කෝ පක්ෂ බේදයක් නැතිව මේකට කෙලින් උත්තරයක් නොදී කර අරින හැටි

      Delete
    2. පැහැදිලිවම.... මම අද උන් ඔක්කෝම බූරුවෝ කරලා ළිපියක් ලිව්වා...

      Delete
  4. One man's error is another man's data.
    සමහරවිට අපි ඕනෙවට වඩා දැනුවත්කරනකොටත් අපි paranoid කියා හිතන අය ඉන්නවා.

    නමුත්, සභ්‍යත්වයේ කඩතුරාව නිසා ආරක්ෂාව ගැන ළමයින්ට කියාදෙන්න හුඟක් වැඩිහිටියෝ මැලි වෙනවා. අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙවහන එක තමයි වෙන්නේ.

    බටහිර සමාජයක:

    ළමයි සෙල්ලම් කරන තැනක කෙනෙක් බලං හිටියොත් අනිත් මිනිස්සු සැක කරනවා ප්‍රශ්ණ කරනවා. කඩේකට ආපු පොඩිගෑණු ළමයෙකුට වැඩිපුර තිබිච්ච ඇපල් ගෙඩියක් දීපු ලාංකික වෙළඳ සේවකයෙකුගෙ රස්සාවත් අහිමි වුනා. අමුත්තන්ගෙන් රසකැවිලි ගැනීම විතරක් නෙවෙයි, අමුත්තන් සමග කතා කිරීමත් අධෛර්යය කරනවා පොඩි කාලෙ ඉඳන්ම. කෙසි කෙනෙකුට තමන්ගෙ ශරීරයේ නො ඇල්ලිය යුතු ප්‍රදේශ පොඩි කාලෙදිම කියලා දෙනවා.

    අපි මොකද කරන්නේ? බස් එකේදිත් අමුත්තෝ ලඟ/අතරේ/ ඔඩොක්කුවල පොඩි උන්ව වාඩි කරවනවා.

    ReplyDelete
    Replies
    1. එකයි මම ලිව්වේ , මේවගේ තිරිසන් වැඩ කරන එවුන්ට වඩා ඒ ගැන කතා කරන්න අපි ලැජ්ජයි කියලා .

      අපි සමාජයක් හැටියට දැනුවත් නෑ . ඒක ඇත්ත . ඒ අතින් අපි නොදියුනුයි .
      මට වඩා ඔබ දන්නවා ඇති ලංකාවේ ගැටවර කොල්ලන්ගේ හිත් වල තියෙන ෆැන්ටසි . ඒවා බොහෝ විට විකෘති ෆැන්ටසි .
      ෆැන්ටසිය වින්දා , සුරාන්තය වින්දා , බෙල්ල මිරිකුවා .... මේ පියවර එකිනෙකට ලංවීම තුළ වැඩෙන සමාජ ඛේදවාචකයක් මට නම් පෙනෙනවා

      ඩුඩ් මම හිතනවා මෙහෙමත් , යුද්ධෙන් පස්සේ මේ ඇතිවන සමාජ විපරියාසයට මුහුණ දෙන්න අපි රටක් හැටියට සුදානම් වුනෙත් නෑ කියලා . දැන් ඔබ කියයි හැම එකටම යුද්දේ ඇදලා ගන්නවා කියලා . ඒත් පොඩ්ඩක් හාරපුවම යුද්දේ මුල් අහු වෙනවා මේ ප්‍රශ්න වල . මේවා සංකීර්ණ ප්‍රශ්න , තුවාලේ වේලුනාට කැළැල් මැකෙන්න කල් යනවා .

      Delete
  5. අපරාධකාරයා ඝාතනය වෙන එකෙන් ලැබෙන ත්‍රිල් එක නිසා එල්ලුම්ගහ ගෙනෙව් කියල කෑගහන උන් එල්ලුම්ගහට ගිය අහිංසකයින් ගැන දන්නේ නෑ. ආගමික පසුබිම් නිසා ගණිකා වෘතිය ගේන්න එපා කියන උන් තම තමන්ගේ ආගම් වල පැටිකිරිය දන්නේ නෑ. සංස්කෘතියට කෙළවේය කිය කිය ගණිකා වෘතිය එපා කියන උන් ඒ සංස්කෘතික ආකල්ප වල මූලයන් ගැන දන්නේ නෑ. එල්ලුම් ගහයි ගණිකා වෘතියයි ඕනෑය කියන දෙගොල්ලෝම රටේ පරිපාලනයේ ඇති හොඳකම ගැන, ක්‍රමවත්බව ගැන හිතන්නේ නෑ. ඔය අරක ඕනෑය මේක ඕනෑය කියලා බෙරිහන් දෙන ගොඩක් උන් බඳින්න කලින් කොල්ලෙක් කෙල්ලෙක් රූම් එකකට යන එක දකින්නේ සහ ගහන අපරාධයක් විදිහට.

    කවුද කියන්න ඕනෙ විසඳුම හොයන්න ඕන ඉවර වුන තැනින් නෙමේ, පටන් ගත්ත තැනට.

    සිස්ටම් එක ආරක්ෂා කර කර ඒ ආරක්ෂා කරන සිස්ටම් එකෙන් ලැබෙන ප්‍රතිපල විනාශ කරලා කාලකණ්ණි තෘප්තියක් හොයනවා.


    ReplyDelete
    Replies
    1. එල්ලාපන් කිව්වට බොහොම කීප දෙනයි කෑගහන්නේ අල්ලාපන් කියලා . මමත් හිතන්නේ සිස්ටම් එකේ අවුල විසඳන්නේ නැතුව කල් පවතින විසඳුමක් නම් හොයන්න අමාරුයි

      Delete
  6. අදයි මුලින්ම ආවෙ.
    අපරාධකරැවන්ට දඩුවමි කලත් නැවත අපරාධකරැවෙක් බිහිවීමට හේතුවන සමාජ වටපිටාව ආකල්ප වෙනස් කරන සාර්ථක ක්‍රමවෙිදයක් අපේ රටවල ඇත්තේ නැ.ඒ නිසා නැවත නැවතත් අපරාධකරැවන් බහිවෙනවා.ඒ වගේම දරැනු දඩුවමි දිමෙන් අපරාධ අවම විම කෙසේ වෙතත් අපරාධකරැවන් එවැනි දඩුවමි වලට අනුගත වෙමින් පෙර පරිදිම අපරාධකරගෙන යන ස්වභාවයට හුරැ වෙනවා.ඒ වගේම ප්‍රසිද්ධියේ දෙන දරැනු දඩුවමි තුලින් වෙන්නේ එය නරඹන පුද්ගලයන්ගේ මානුෂිය ගුණාංග අඩුවෙන එක.එම දඩුවමි දකින අයගේ මනස ඔනම දරැනු දෙයක් දකින්න පුලුවන් තරමට හැඩගැහෙනවා.එවනි දඩුවමි ඇති රටවල පුංචි දරැවන්ට එවැනි දේ සාමාන්‍ය වෙනවා.ඔවුන්ට හිසගසා දැමීම,අතපය කැපීම,වැනි දේ ඉතා සාමාන්‍ය දේවල් වෙලා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා .

      කැඩිච්ච ජනෙල් හදන්නේ නැතිව ....

      Delete
  7. සමහර ලිපි කියෙව්වාම කොච්චර ඒ සමග එකඟ වෙනවාද කියනවා නම් වෙන ලියන්න අමතර දෙයක් නැතුව යනවා!

    ReplyDelete
    Replies
    1. රසික , මේක වැරදියට ගන්න එපා . ඒත් බොහොම දුලබ සිදුවීමක් ...

      Delete

Have commented