27 September 2015

රොක් හඩ්සන්



හඩ්ඩා  අහස දෙස බලා ගෙන සිටින්නේය . කොමලසිරි විදානේගේ හඩ්සන් , ඒ උප්පැන්නේ නම . එය හඩ්ඩා යයි ලඝු වූයේ කවදාදැයි හරියටම නිච්චියක් ඌට වත් නැත . ඒ හැත්තෑ ගණන් වල මැද  භාගයේ යයි යාන්තමට මතකයක් ඇත . පන්ති පහට ගිය හ ඩ් ඩා, ඉන් පැන ආවේ ඉංග්‍රීසි සින්දු කියන්න නොදුන් නිසාය . 

"මචං මල්ලි මේ සයිඩ් බර්න්ස් තියෙනවා නේද ?  " 

ඒ ඔහුගේ සුපුරුදු ඇමතීමයි . මේ සයිඩ් බර්න්ස් කතාවද පරණ කතාවකි . ඒ ප්‍රශ්නය එතනින් එහාට විකාශනය නොවේ ,  හැමදා මෙන්ම හිස්ය . කන්පෙත්තේ සිට අඟලක් පමණ පහලට දික්වුනු , අංශක 45ක ඇලයට කැපුණු පැති  රැවුල ඔහු අභිමානයෙන් පිරිමදින්නේය .

***
ගෝල්පේස් පිට්ටනියට ඔබ්බෙන් ඉන්දියානු සාගරය අටවක සඳ තුරුළු කරගෙන , පැද්දී පැද්දී නලවනවා . පොඩි එකීට ගුඩුස් ගිහින් බිව් සඳ රැස්  උගුරක් සාගරය පුරාවටම ඉහිරිලා 

***

එකදහස් නවසිය අසු දෙකේ, ජූනි මස හැන්දෑවක , ගිටාරයක් තුරුළු කරන්, ඉගිපොප් ගේ , බෝවීගේ සිංදු , උන්ට වැරදුනු තැන් නිවැරදි කරනවා. සින්දු දෙකක් මද රොක්ලන්ඩ් රතු රම් වඩියක් සෝඩා වල දියකරනවා . හිමින් සැරේ තත් පිරිමදිමින්, මතු යම් දිනෙක ලියවෙන , කියවෙන ගීයක ඉන්ටලූඩ් එක ස්වර පේලියෙන් පේලිය අමුණනවා .

" අඩෝ රොක්ලන්ඩ් හඩ්සන් , අන්නාසි කාරයෝ බය කරන්න එපා ...." 
ඇත ඉඳන් කෑගහගෙන කවුදෝ එනවා , පිට්ටනියේ දිගට ඇඳුනු ලයිට් කණුවේ හෙවනැල්ල දිගේ .

***
අටවක රෑ අහසේ තරු ලස්සනට ඉහිරිලා . පිස්සු ජැක්සන් පොලොක්ට බාර දීලා වගේ අද රෑ අහසේ සිතුවම අඳින්න . උල්කාවක් අහස දිගේ ඉරක් ඇඳගෙන කොහේදෝ ඈතක , නමක් නැති වැවකට වැටෙනවා . පත ගෙම්බෙක් නෙලුම් කොලයක් අස්සේ සැඟවෙනවා .

***
ප්ලාස්ටික් කෝප්පයක රොක්ලන්ඩ් රම් , කොකා කොලා හා මුසු වෙනවා .

"අපි මාර බඩු  තමා මචං  මල්ලි දවල්ට පං තොප්පි දා ගෙන , බතික් ෂර්ට් ඇඳන් කැලිප්සෝ ටියුන් ගහ ගහා ක්ලැරන්ස් ව විකුණන් කනවා, මුණ හංගගෙන ....රෑට් රොක් වෙනවා . "

දුම් වළලු, පුළුන් වලාකුළු දිහා බලා ගෙන පාවෙලා උඩට උඩට යනවා . ... හිතත් එක්කගෙන 

***

ආයෙත් මගේ හිත වත්මනට දුවලා එනවා . . 

මේ ඉහේ ඉඳන් පිට දිගේ දාඩිය බිඳු බේරෙන කොළඹ ගිම්හාන රැයක ,හඩ්ඩා පරණ පුරුදු විදියටම ලෙදර් ජැකට් එකක් ඇඳන් ඉන්නවා ...

"මචං මල්ලි ඇයි උඹ සයිඩ් බර්න් දෙක කැපුවේ "  කැස්සක් එනවා . එය දිගට අල්ලනවා ...කැහැළා ඉවර වෙලා හඩ්ඩා පපුව පිරිමැද ගන්නවා . 

"අපරාදේ " ඔහු වාක්‍යය අවසන් කරනවා .

"...සයිඩ් බර්න් තියෙනකන් බොක්කේ රොක් ජීවත් වෙනවා බං  " ඔහු සිතිජයට එහා ලක්ෂයක් දෙස බලාගෙනම දොඩවනවා .
පැති රැවුල පැහිලා , කහපාට හැලජන් ලාම්පුවේ එලියට හොඳට පෙනෙනවා . නමුත් මම මොකුත් කියන්න යන්නේ නෑ .


පලි :
ඇතැම් වස්තු බීජ මම හරිම පරිස්සමට ලෝබ කමට තියන් ඉන්නවා ... හරියට මොකක් හරි නිර්මාණයක් කෙරෙනකන් . සමහර වෙලාවට එක නිර්මාණයක් කරලා මදි .. ඒ නිමිත්ත පට්ට ගහනවා ...ඒත්  හරි නෑ  කියලා හිතෙනවා .. මේ ඒ වගේ එකක් . මෙයින් ම ලියවුනු දෙවැන්න මින් පසු පළ කරන්නම් .... ඒත් තාම හිතට හරි මදි .

මෙවැනි චරිත අපේ සමාජයේ කාලයක හිටිය බව මතක තියෙන්නට ඔබ ඇතැමෙකුට වයස ඇති . තවමත් කොළඹ ජරා ජීර්ණ වූ තැබෑරුම් තුළ මොවුන් හැංගිලා ඉන්නවා .

11 comments:

  1. මට ජාලිය කියන දේ හොඳාකාරව තේරෙනවා. මගෙ හිතෙත් ඔහොම නිමිති තියෙනවා ලියන්න ලෝබ. ඒ මොකද මගෙ වාග්මාලාව, භාෂා දැනුම මදි කියලා හිතෙනවා අවශ්‍ය දේ මට හිතෙන දැනෙන හැටියටම ලියන්න. ඒක නිසාම ඒකට අසාධාරණයක් වේවි කියලත් බයක් තියෙනවා.

    රොක් හඩ්සන් කිව්වාම මට මතක් වෙන්නේ AIDS. Media took care off that.

    ReplyDelete
    Replies
    1. ඔව් උගේ අවසාන ඉරණම මට අමතක උනා .
      රොක් හඩ්සන් උනාට උගේ කිසිම රොක් ගතියක් නෑ . .. ඒකට අපේ රොක්ලන්ඩ් හඩ්සන් , ඔරිජිනල් රොක්

      Delete
  2. ඇත්තටම රොක් හඩ්සන් ගැණ මං මුලින්ම ඇහැව්වේත් ඒඩ්ස් හින්දා තමයි. ඔහු ඩිනාස්ටි හෝ ඊට කලින් තිබුණු සෝප් එකක රඟපෑව බව අසා තියෙනවා.

    සිංහල සින්දුවකත් රොක් හඩ්සන් ගැන කියවෙන බව දන්නවාද?

    ගායකයා - ඇන්ටන් රොඩ්‍රිිගෝ

    ගීතයේ මට මතක එක පදයයි.

    "මේ ලෙඩේ හැදුණු හැටි ඇහැව්වම නෑ නෙ උත්තර...!"

    ReplyDelete
    Replies
    1. ඇන්ටන් රොඩ්රිගෝ ...ඔබ තවත් පැරණි රසාංගයක් මතක් කළා

      Delete
    2. රටින් රටට බිලි ගන්නට තරුණ පරපුර
      ඉරෙන් හඳෙන් ආවද මේ මරණ උවදුර
      කටෙන් කටට පැතිරෙනවා කට කතන්දර
      මේ ලෙඩේ හැදුන හැටි ඇසුවොත් නැහැනෙ උත්තර

      ...
      ...

      හොලිවුඩ් වල නලුවෙක් රොක් හඩ්සන් කියනා
      සුර කුමරෙක් පරදන රූ සපුවක් තිබුණා
      නොමගට ඇදුණා - ඒඩ්ස් රෝගය හැදුනා
      මිනිය දකින්නත් නැති කෙරුණා

      Ratin Ratata Biligannata By Anton Johns

      Delete
  3. ඉන්නවා මචෝ අනන්තවත් ඉන්නවා... ඉස්සර ගෝල්ෆේස් එක කියන්නේ තනිකර ආතල් ගත්ත තැනක්.. අද ඒක තම්බින්ට සින්න වෙලා.. තම්බින්ට මොන රොක්ද බං... (ජාතිවාදියෙක් කියලා නම් හිතන්න එපා.. තම්බියට, තම්බියා කියනවා ඇරෙන්න වෙන මක්කා කියන්නද...?)... ඔතන කී දෙනෙක් බිව්වද..? සින්දු කිව්වද...? සෙට් උනාද..? මල් කැඩුවද...? මල් සුවඳ බැලුවද...? ඒත් කවදාවත් වලියක් නම් ගියේ නෑ.. එතන වෙනම කල්ට් එකක් තිබුනා..

    ලියන්න නම් අනන්තවත් දේවල් තියෙනවා... කොහොම හරි ලියන්නම ඕනා...

    මේ වගේ නොස්ටැජික් පිස්සු පෝස්ට් වලට ලව් කරන සෙට් එකක් ඉන්නවා... ඒ නිසා බය නැතිව ලියපන්...

    ReplyDelete
    Replies
    1. ගොල්පීස් (මම ගෝල්ෆේස් නොකියා ගොල්පීස් කියලා ලියන්නෙත් හේතුවක් ඇතිව . සුද්දාට ගෝල්ෆේස් .. ඌ ගියාට පස්සේ කළු සුද්දන්ට ගෝල්පේස් ..... එතනින් එහා එවුන්ට ගෝල්පීස් ) එකේ එක එක පැය දෙකේ තුනේ කෑලි එක එක කට්ටි බෙදන් හිටියා කියලා මට හිතෙනවා . .. ඇත්තටම කොල්ලුපිටියේ කෝනල්ස් එක ලඟින් ඩබල් ඩෙකර් එකක නැගලා ගොල්පීස් ගිය මතකයක් හිතේ මතු උනා . ලියන්න ඕනේ ඒ ගැන

      Delete
  4. Jimmy Hendrix the guitar god !

    ReplyDelete
  5. නිමිත්ත නම් කීවත් කමෙන්ටු බැලුවත් හිතාගන්නට නොහැක
    ඒ ඔබේ දැනුම් වපසරියට වඩා කුඩා මෙන්ම ලාබාල වූ දැනුම ප්‍රමාණය නිසා යැයි සිතමි
    නමුත් පෝස්ටුව නම් ඉහළින්ම රස වින්දෙමි

    ReplyDelete
    Replies
    1. පඬි කමට නොවේ ඔබ උනන්දු යයි හැඟුන බැවින් තව ටිකක් කියන්නම් . 70 දශකයේ හිපි විප්ලවේ ලංකාවට ආවේ පරක්කු වෙලා . විශේෂයෙන් 77 පස්සේ , විවෘත ආර්ථිකයෙන් පස්සේ . ඒ කාලේ කොළඹ විප්ලවාදින් හිටියා බොක්කේ රොක් තියාගෙන . ජේවීපී විප්ලවේ එක්ක සංස්කෘතිකව බැඳෙන්න බැරි ... මුන් වීරයෝ කියලා මම කියන්නේ නෑ , අතරමන් වුවන් අතර අතරමන් වුවන් .... උන් දැන් නාකි වෙලා ...ඒත් තවම ඉන්නවා .. ඔබ ගියොත් ඔය දවල්ට jazz ගහන තැන් වල ඉන්නවා එකෙක් දෙන්නෙක් ... එහෙමත් නැත්නම් පරණ තැබෑරුම් වල (නිපොන් හෝටලේ පිටිපස්සේ ගුහාවේ වගේ ) උන් තාම එකතු වෙනවා
      හැබැයි ප්‍රශ්නයක් නෑ වපසරිය වෙනස් වුනාට රස වින්දා නම්

      Delete

Have commented