12 September 2015

යහපාලනයේ ආවස්ථික පිරිවැය සහ සංහිඳියාවේ ආවස්ථික පිරිවැය // Opportunity cost of good governance and consensus

ආවස්ථික පිරිවැය (නැත්නම් ගමේ ගොඩේ කියන විදියට opportunity cost ) සංකල්පය මට මුලින්ම හිතට වැටෙන ලෙස කියා දුන්නේ මිතුරෙක්ය . දිනක් මා අලස සුවය විඳිමින් සිටිද්දී පැමිණ, ඔහු මෙසේ ඇසුවේය.

මොකද කරන්නේ?
ඔහේ ඉන්නවා...
ඇයි  එහෙම ඉන්නේ අපරාදෙනේ ?
මොන අපරාධයක්ද ?.. අතින් පයින් යන්නේ නෑනේ ...
ඒ වුනාට උඹ පත්තර වලින් කඩදාසි බෑග්  හැදුවානම් පැයට  කීයක් හදන්න පුලුවන්ද ... එහෙම බලපුවහම උඹට කොච්චර පාඩුද ?

ඔහුට එකඟ වුවා, නොවුවා , සංකල්පය මගේ ඔලුවට නම් (පොල්ලෙන් ගසන්නාසේ ) වැදුනි . ඔබට එසේ නොවෙන්නට ඉඩ ඇත . ඒ නිසා අපි උදාහරණයක් දෙකක් සලකා බලමු.

 ජනවාරි අට වෙනිදා වෙනසේ, යහ පාලන පෙරළියේ, අවස්ථික  පිරිවැය කෙතරම්ද . එය නොවුනා නම් මීට වේගයෙන් පාරවල්වලට තාර වැටෙන්නට තිබුණි , පෝට්  සිටිය ඉදි වෙන්නට තිබුණි , නෙලුම් කුලුන , අර මොකක්දෝ නිල් පාට පෙත්තක් ගැසුවා සේ, ඉද්දෙන්ට තිබුණි . හරි හරි , ඒ ඔක්කොමත් හරි ඒත් ඔබට මට නැතිවූ යේ කුමක්ද ? ඔබ කියාවි ජාතික අභිමානය , සංවර්ධනය ...ඒවා ඉතින් ආර්ථික අගයක් දෙන්න බැරි , මනින්න බැරි සංකල්ප නේ (ඔව් සංවර්ධනය පවා ) ...කොටින්ම අර අයිස්චාර්යයේ හයිවේ එකේ යනකොට දැනෙන මෙව්වා එකට, ස්වයං වින්දයට (pun intended )  වඩා යමක් නම් නැතිවූ වගක් නොහැඟේ . පෝට්  සිටියේ කඩයක් දා ගැනීමට සිටි කෙනෙක් , එහි ඉඩම් කෑල්ලක්  ගෙන ගේ පොඩිත්තක් සදා ගැනීමට සිටි කෙනෙක් , නෙලුම් කුලුනේ සිකුරිටි ජොබක් ගැන හීන මවමින් සිටි කෙනෙක් මම නොදනිමි (එතනින් එහාට ප්‍රතිලාභයක්  නම් අපි වැනි පුංචි රාළලාට නොලැබේ ) . ඇතැම් විට ඔබ දන්නවා ඇති . නමුත් 8 වනදා සිදුවූ වෙනසේ ආවස්ථික පිරිවැයක් ඇත , එනම් බට දිගේ ලංකාවට ආ චීන සල්ලි ( විසුද්ධි කරණයට හෝ , ආරක්ෂක වියදම් ලෙස හෝ පුණ්‍යාධාර ලෙස හෝ ) 8 වෙනිදායින් පසු නිසැකවම නවතින්නට ඇත . (නමුත් රටක් හැටියට අපි තරාදියේ අනෙක් පැත්තට දැමුවේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව නිදහස හා ඒකාධිපතිවාදයකට ඇති නො කැමැත්තයි . ඒ රටේ බහුතරයගේ තීරණයයි ). නමුත් ඇත්තම පිරිවැය ඒ එන්නට තිබු මුදලින් ඔබට මට ලැබෙන්නට තිබුනේ කුමක්ද යන්න නොවේද ? 

හරියට තේරුනේ නැතිද? එහෙනම් තව උදාහරණයක් සලකා බලමු.

මාස අටකට  ෆාස්ට් ෆොර්වර්ඩ් කරමු . ඇමති මණ්ඩලයක් පත්කර ඇත . ඒ ගැන කිසිවෙක් වගකීම ගන්නේ නැත . "ඔන්න මගේ පැත්ත නම් හරි "  යයි අයෙක් කියද්දී අනෙකෙකු කියන්නේ "මේ සංහිඳියාව සඳහා මේක නොකර බැරි වුනා"  කියාය . මේ දෙකම මට නම් කුනුහරුපය . ආශ්චර්යය හා යහ පාලනය යන වචන කුණුහරුප වුවා සේම සංහිඳියාව ද ළඟදීම (දැනටත්  වී නැත්නම් ) කුනුහරුපයක් වෙනු ඇත . තවත් කෙනෙක් කියන්නේ "ජනතාවගේ වැරැද්ද නේ , ප්‍රබල ආණ්ඩුවක් පත් කලේ නැති එක" කියාය . එවිටනම් අපිට අනේ උන්ගේ .... (ස්වයං වාරණයට ලක් කෙරින ). සංහිඳියාව උදේසා හොරුන් පත් කිරීම කෙසේ තර්කානුකුල වේදැයි මට නොතේරේ . නමුත් අපි එතනින් එහාට යමු . 
උදාහරණයක් ලෙස මුතුහෙට්ටිගම , වස ඩප්පි කාරයා හෝ අප්පච්චි මළා හාදයා ව ගනිමු . මේ අයව පත් කිරීමේ ආවස්ථික පිරිවැය කුමක්ද .. "ඇයි යකෝ උන්ට ගෙවන මහජන මුදල් , දෙන වරප්‍රසාද... අපේ බදු සල්ලි නේ " යයි ඔබට මුලින්ම සිතේවී . නමුත් ඇත්තේ ඒ පිරිවැය පමණක් නොව .. ඔවුන් පත් කිරීමෙන් වැඩ කල හැකි අයෙකු පත් කර ගැනීමට , ඔහුගෙන් ලැබෙන වැඩ වල ප්‍රතිලාභ ලැබීමට ඇති හැකියාව නැති නොවුනේද . රනිල් පෙන්වූ පංච තන්ත්‍රයේ හෝ අට වෙනිදා පෙන්වූ කේතුමතී නුවර විත්ති පොතේ  අවසාන පින්තුරයක් තිබුණි  ...ඒ  සඳහා වූ road  map  එකක් තිබුණි. එනමුදු පෙරහැරක වේගය එහි සිටින මන්දගාමිම අලියා තීරණය කරන්නේ නොවේද  .

එසේනම් ජාතික සංහිඳතා රජයේ ඇති ආවස්ථික පිරිවැය කුමක්ද? එය අපමණ අගයක් වේද ?

දැන්නම් හොඳටම තේරුනා යයි සිතමි 

4 comments:

  1. So true.. nicely written n right on spot!

    -Upeksha

    ReplyDelete
  2. හොඳටම තේරුණා... බොහොම ඉස්කෝතුයි

    ReplyDelete
    Replies
    1. ලජ්ජවෙන්න එපා තව එකක් ගන්න ...ඉස්කොතු මම කිව්වේ

      Delete

Have commented