30 October 2015

අවම බලය සහ උපරිම සුදුසුකම (හෙවත් සෝමා ඇන්ටිගේ කෑම කැවීම )

දේශපාල තාත්තාගේ 
චන්ඩි බන්ඩි පොලිස් පුතා 
හදනු නියා බාර කලා 
ස්වාධීන කොමිසමකට 

ඒ වුනාට 
අනේ තාම
ගාලු පාරේ 
බිම පෙරළන් 
බැටන් පොල්ලේ 
අවම බලය 
තැලුම් පාර 
නිල්  වෙනකන් 


***


සෝමා ඇන්ටි , පුරුදු පරිදි කෑම පිඟානක් බෙදා ගෙන තම මුණුපුරා පස්සෙන් දුවන්නේ කෑම ටික කවා ගැනීමටය . පුරුදු පරිදි ආතම්මලා මෙවැනි විටෙක බිල්ලෝ එන කතා , කරෝල වාඩී වලට ගෙන යන කතා කියා පොඩි එවුන් බය කරන්නෝය .  නමුත් සෝමා ඇන්ටි ටිකක් නිර්මාණ ශීලිය . ඇය කියන්නේ වෙනස්ම කතාය .

" පුතේ ,  මේ කට කෑවේ  නැත්නම් මයේ පුතා ව අල්ලාගෙන ගිහින් කොට දෙනියාවේ ඕ අයි සී කරයි ". පොඩි එකා කට ඇර  බත් පිඬක් කන්නේය .

" මේකත් කන්න පුතේ , නැත්නම් අල්ලාගෙන ගිහින් ජනාධිපති විමර්ශන කොමිසමට ගෙනියයි ". නැවතත් සිඟිති මුව ඇරෙන්නේය .

" පුතේ මේ අන්තිම කට,  මේකත් කන්න , නැත්නම් අල්ලා ගෙන ගිහින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් කරයි .."

"මට බෑ .."

"ඔන්න මම නොකීවා  කියන්න එපා , ඊට පස්සේ පුතාට එකේ ඉන්න නොසන්ඩාල කොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි "

පොඩි එකා ගේ දිවීම නැවතුණි 

"මොනාද පස්න ?"

"උන් අහයි , උඩ යන්නේ නැතිව හරහට අහස්  ගුණ්ඩු යවන්නේ කොහොමද කියලා . අහයි අහසේ තරු කීයක් තියෙනවද කියලා . අහයි සිංහ කොඩිය ගහලා ඇරපු චන්ද්‍රිකාව කෝ කියලා "

"ඉතින් මන් දල් ලෑ ලේ ."

"ඒක තමයි , එතකොට උන් පුතාට හූ කියයි .... කොළ බෝල වලින් ගහයි ..... "

"ආතම්මේ විච්ච විද්දාලේ කියන්නේ මොකක්ද "

"ඒක  ලොකු ඉස්කෝලයක් "

"මොන්ටිසෝලිය වගේ ?"

"නෑ නෑ , මොන්ටිසෝරි   ගිහින් , ඉස්කෝලේ ගිහින් , ඕලේවල් , ඒ ලෙවල් විභාග පාස් කරලා ඊට පස්සේ තමා  විස්ස විද්‍යාලේ යන්නේ "

"හූ හු ආතම්මාට අමතක උනා , මම විභාග පාස් කලලා නෑ නේ "

ඒ වුනාට දැන් ඒවා බලන්නේ  නෑත් ලු  පුතේ .....දැන් ගොඩක් දේවල් කරන්න ළමයින්ට දීලා නේ තියෙන්නේ ... රටේ දේවල් දෙන්න ළමයි හොය හොයා ඉන්නේ


29 October 2015

තනි රූල් ඉරි අතර , ජීවිතය ලිවීම

සුදු 
හිස් පිටු පුරා 
ඇඳි තහංචි රේඛා 
තනී  රූල් 

ලංවී බලන් 
නොවේද දිස් 
දෙඉවුරක් ගං 
අනන්තයකට විහිදුනු 

නෙක් රහස් සැඟවුණු 
බෙණ යැති  අඳුරු 
කුඹුක් ගහත් 
දියටම නැමුනු 

මතකයක 
පිලිහිඩු  නීල සළු ද 
පෙරී ආ අව්  රැසේ 
වේලෙන්නට වැනු 

වාක්‍ය 
බැමි බිඳ 
වචන 
ගලා යයි ඔහේ 
විටෙක දොළ පාරක්ව 
විටෙක සැඩ  රළ නගා 
දෙගොඩ තලා 
නොගලා 

ඒත් 

පරිස්සමෙන් 
මග හරිමින් 
ප්‍රශ්නාර්ථ , කොමා 
නැවතීමේ තිත් 

මේ රූල් ඉරි 
අතරය එල්ලුවේ 
මා 
තීන්ත වේලෙන්න නියා 
එක එකම වදනක් 

ජීවිතය .

26 October 2015

හිට්ලර් යාම , චැප්ලින් ඒම සහ Back to the future

2015 ඔක්තෝබර් 21 ගැන කතාබහක් ඇතිවුයේ , Back to the future (බැක්  ටු ද ෆියුචර්) චිත්‍රපට මාලාවේ මාර්ටි අනාගතයට යන දවස එය වූ බැවිනි . 

කොටින්ම මේ චිත්‍රපටය ඇත්තක් නම් , එදා කොහේ හෝ තැනක මොඩිෆයි කල ඩිලෝරියන් රථ කාල යන්ත්‍රය, කාලතරණය කර මතුවෙන්නට ඇත . සංවාදයක් ඇතිවී තිබුනේ එදා 1985 දී මේ චිත්‍රපටයෙන් , 2015 දී පවතී යයි අනාවැකි කී කෙතරම් දේ අද සැබෑවී ඇත්දැයි කියාය . වීඩියෝ සම්මන්ත්‍රණ , පාවෙන හුවර් බෝඩ් , ටැබ්ලට් පරිගණක, ෆ්ලැට් ස්ක්‍රීන් රුපවාහිනී  ආදී බොහෝ දේ ඒ අතර වෙති .

දැන් මේ දවස් වල ලංකාවේ කතාවෙන චිත්‍රපටය දෙසට හැරෙමු . චිත්‍රපටය "ඇඩ්රස් නෑ" ය . එයට කියවීම් බොහොමයක් ඇත . අබා සිට මේ දක්වා,  ජැකා ආ ගමන යයි අයෙක් කියුවේය . හිතේ ඇතුවූ කනස්සල්ල නිසා කෙරූ නිර්මාණයක් යයි තවත් අයෙක් කියූහ . ඒත් මාස අටක් ඇතුලත චිත්‍රපටයක් නිර්මාණය කළ  හැකිද යන්න සැක  සහිතය . නමුත් සංස්කරණයෙන් , ලබාගත් දර්ශන ඇමිණීම වෙනස් කොට කතාව උඩු යටි කලද හැක . කෙසේ වුවත් සැකයේ වාසිය අධ්‍යක්ෂකට  දෙමු . නමුත් ජැකා අබා විකුණු ලෙසින්ම , ඇඩ්රස් නැති කතාවත් විකුනන්නේය . එය නම් වෙනම කතාවකි .

චිත්‍රපටය තවම තිරගත වී නැත . මා මේ සැරසෙන්නේ පුර්ව  ප්‍රචාරක පට කිහිපයක් පමණක් නරඹා  යම් කියවීමක් කිරීමටය . මුළු චිත්‍රපටයම නොබලා , ඒ ගැන ගැඹුරින් නොසිතා,  විචාරය , කිසිම චිත්‍රපට විචාරකයෙකුට නොහොබි . එහෙත් මම චිත්‍රපට විචාරකයෙක් නොවෙමි. ඇතැම් විට දැන දැනම නොහොබී දේ ද කරමි .

මුලින්ම මෙහි කියවෙන පරිදිම නාසි වත්තේ හිට්ලර් , ඒ අයිඩෙන්ටිය විසික්කා කොට වෙනස් වන්නේය . එකෝමත් එක රටක වූ මේ වැනි කතාවක් යන්තමට මෙන්  මතකය . 

"හිට්ලර් ගියා චැප්ලින් ආවා යයි" , ගැඹුරු හඬින් පළමු ප්‍රොමෝ එකේද , දෙවැනි එකේ විහිලු හඬකින්ද කවුදෝ කියන්නේය.. ( අනේ මන්දා )

 මෙහි සිටින චැප්ලින් ගොළුය . මිනිසුන් වට කරගෙන චැප්ලින් , හිට්ලර් උපහාසයට ලක් කරන්නේය . මිනිස්සු ඉන් ප්‍රීතී ප්‍රමෝදයට පත්වී සල්ලි විසි කරති.
හිට්ලර් විකුණා චැප්ලින් ජීවත් වෙයි . එහෙත් හිට්ලර් ගේ දරුවා හදා වඩා ගන්නේ චැප්ලින්ය . (?)

තව දර්ශනයක පරණ සුදු වෑන් එකක් , තල්ලු ස්ටාට් කර දුම් දමා ගෙන ඉදිරියට ඇදේ . එහි පැත්තක බාගේට  ඉරා දැමු පෝස්ටරයක් ඇත එහි " මන්ත්‍ර , මැජික් , කඩු සටන් ......අලුත් පිටපත"  කියා සටහන් වී ඇත . (!)

මේවා ගැන මොකක්දෝ හරියටම ඝනීභවනය නොවූ කියවීමක් මා සිතේ ලියවේ . 

එක් කට් එකක , "මට බඩගිනියි " කියා ගෙන තම දොර පාමුලට එන හිට්ලර් ගේ මුහුණට, දොර, පින්සාර වහන්නේ "විශ්වාසා පරමා ඥාති " කියමිනි ..... (හ්ම්ම්ම්) 

පුර්ව  ප්‍රචාරණ පටය අවසානයේ හිට්ලර් පොලිස් ජීප් එකකට නංවා ගන්නා දර්ශනයක් ඇත . නමුත් හිට්ලර් නගින්නේ ඉස්සරහ සීට් එකටය . එවිට පොලීසියේ  OIC ඉබේම ඩ්‍රයිවර් කෙනෙක් මෙන් දිස්වේ. එහි කවුළුවෙන් අපි දෙස බලන හිට්ලර් "ඇඩ්රස් නෑ "  කියා කියන්නේය . ඔහු එය කියා (ඔලොක්කුවට මෙන් ) සිනාසුනු බවක් මට දැන් සිහිවේ .

මේ චිත්‍රපටය රූ  ගත කර තිබෙන්නේ 2013, 2014 කාලයේය . ඒ කියන්නේ මේ වසරේ සිදුවූ අලකලංචි ගැන කිසි පෙර නිමිත්තක් නැතුවය . එසේ නම් back to  the future  මෙන්ම , "ඇඩ්රස් නෑ" ත් අනාගතය පෙර දැක්කාද ? 
මෙය මනෝවිකාරයකි . නමුත් අර back to the future හි doc කියන්නාක් මෙන් " if you do not consider time , it makes perfect sense" (කාලය මේ සමීකරණයෙන් ඉවත් කළ  හොත් එය තේරුම් ගත හැක .)


පලි :මෙය කලාකෘතියක් , කලාකාරයෙක් , චිත්‍රපටයක් , සමාජ සංසිද්ධියක් ගැන කියවීමක් නොවේය . මේ ගැන විවිධ අය   විවිධ  දේ ලියා ඇත . මේ චිත්‍රපටය , පුර්ව පට වලින් ඔබ්බට ලෙලි ගසා බැලුවිට , ගත යුත්තක් නැති නිර්මාණයක් වීමටද ඉඩ ඇත . ඒත් මගේ ඔලුවේ විසිරුණු යම් සිතිවිලි කීපයක් සටහන් කර තැබීමට සිත් විය 

24 October 2015

ආච්චි මළ බව පමණක් කීම හෙවත් What to say when you don't have anything to say

" මේ උ*තෝ  ,  නානපාල ..... මේ ආපන්  ...." 

නල්ලතම්බි මහතා තමන් දන්නා සිංහලෙන් නානපාල ඇමතුවේය (නල්ලතම්බි මහතාට "හ" යන්න කියවෙන්නේ නැත . එක්කෝ ඔහු ඊට අ යන්න  හෝ උ යන්න ආදේශ කරන්නේය නැතිනම් අමතකම කර දමන්නේය ).

මේ සිද්ධිය මා සේවය කළ  මුල්ම ආයතනයේ , ඊට  ගිය අලුත  සිදූවූ වකි . 

ඥානපාල නොහොත් නානපාල එහි සේවයට අලුතින් එක්වූ තරුණ ගැටයෙකි . ඔහු පුහුණු ලිපිකරුවෙකි .  ආයතනයේ කොල්ලන්ගේ බසින්ම කියතොත් , උනන්දුවෙකි . (යාන්තමට මුහුණ කට හෝදා  ගන්නට කිව්වොත් , බාල්දියක් ගෙන නාන තරමටම උනන්දුවෙකි .)

නල්ලතම්බි මහතා මානව සම්පත් අංශයේ පලමු ශ්‍රේණියේ නිලධාරියෙකි . වසර දහයක පමණ සේවා අත්දැකීම් ඇති ඔහු , නිවුනු ගති ඇත්තෙකි . කිසිවෙකින් කලබල නොවන්නෙකි .  ඔහු අපේ බොස්ය . දරුවන් නොසිටි ඔහු , තම බිරිඳ සමග පදිංචි වී සිටියේ වැල්ලවත්ත පැත්තේ කුලී ගෙයකය. ඔහු රාජකාරිය දේව කාරිය සේ සැලකුවේය . උදේ සිට සවස් වෙන තෙක් තම යටතේ සිටින සේවකයන්ට පරාල  ඇනයක් වෙන ඔහු , හවසට ඔවුන්ව කැඳවා ගෙන වයිට් හෝස් එකට ගොස් 
කිහිපයක් ළඟ නවා ගෙන , ඉන් පසු සරස්වතී එකෙන් තොසේද අරන් දෙන්නේ තමන්ට ලැබෙන  සොච්චමිනි . ඕනෑම දුකකදී ඔහු මුල් තැන ගත්තේය . ඔහුගේ බොක්ක රත්තරන් බව සියල්ලෝම දත්තෙමු. එහෙයින් , කෙතෙක් කටුක වුවද , පෙරලා හොම්බට එකක් අනින්නට සිතිවිලි ජනනය වුවද , ඔහු ඇනුම් බැනුම් ඉවසා සිටියෙමු .

මේ සිද්ධිය සිදු වෙන දිනයට සතියකට පමණ පෙර ,  head office එකෙන් (ප්‍රධාන කාර්යාලයෙන් ) විගනණාධිකාරීන් හෙවත් ඔඩිටරයෝ අප ශාඛාවට පැමිණියහ . දැන් ලෙජර් , ෆයිල් දිග හැර ගෙන මහා audit එකකි.  අප ආයතනය අන්තර්ජාතික ආයතනයකි , එහි විගණනය කරන කාණ්ඩයම පැමිණෙන්නේ විදේශයකිනි .ඔවුන්ට සිංහල නොතේරේ . ඔවුන් ඉන්නා විට පොතේ හැටියටම වැඩ කරන ලෙසත් , සුපුරුදු නීති අස්සෙන් රිංගීම, කෙටි වෙට්ටු දැමීම ආදිය නොකරන ලෙසත් මොනවා හරි හොරෙන් කියන්න ඕනේ නම් සිංහලෙන් කතා කරන ලෙසත් අපේ බොසා අපට මුලින්ම උපදෙස් දී තිබුණි .
දිනක්, එක ඔඩිටරයෙක් , අපේ නානාව අල්ලා ගෙන  වවුචර් පෝස්ටින්  හෙවත් බැරවීම්,  ලෙජරයේ  සටහන් කිරීමේ ක්‍රියා පටිපාටිය විස්තර කරන ලෙස ඉල්ලා සිටියේය .

අපිට නල්ලතම්බි කට පාඩම් කෙරවූ පරිද්දෙම්ම,  නානා , කට පාඩමින් ඒ ටු ඉසෙඩ් කීවේ, කිසිදු අපහසුවක් නැතුවය .

"Very  good , anything else ? " (බොහොම හොඳයි , වෙන මොකුත් කියන්න තියෙනවද ....) ඔහු ඇසුවේ කට්ට කමටද , මනුස්ස කමටද කියා මම නොදනිමි

"Yes sir , although the process is like that , practically ...." (ඔව් සර් ... ඔය ප්‍රොසෙස් එක ඔහොම තිබ්බට , ප්‍රැක්ටිකලි කරන්න ගියාම .....)
නානා සැරසෙන්නේ වැඩේ කන්න ය . මූ  දැන් පොතේ තියෙන විදිය කියා අවසන් කර, ඇත්තටම  අපි වැඩේ කරන විදියත් කියන්න සැරසෙන්නේය .

නල්ලතම්බි ඉස්සර වූයේ  මෙවිටය

දන්නා සිංහලෙන්, අර උක්ත කී අයුරෙන්,  නානා ඇමතු ඔහු..

"...උඹේ ආච්චි මැරුණා කිව්වම ඇති . මැරිච්ච විදිය කියන්න ඕනේ නෑ,  ...." කියා තම ප්‍රකාශය අවසන් කළේය

එදා හවස තෝසේ අඹරන වෙලාවේ මේ කතාව නැවතත් ඇදී  ආවේය .

 "නෑ බොස්  මම , අපේ මුළු ප්‍රොසෙස් එකම කියන්න හැදුවේ ..." නානා උත්තර බඳින්න තතනත්ම , නල්ලතම්බි ඔහුව නැවත්තුවේය

"අයිශේ නානපාල  , මේක ඔඳට ඉතට ගන්න  ... මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් පුතා , ඔයා කැරියර් එකේ උඩට යනකොටත් මේක අමතක කරන්න එපා ...උඹට නිකන් කට තියන් ඉන්න බැරිනම් , බුල්ටෝ එකක් කටේ දා ගන්න .... කියන්න ඉම්පෝටන් දෙයක් නැත්තන්  මොකුත් කියන්නේ නැතුව කට වාන් ඉටපන් ...."

නල්ලතම්බි , පසු කලෙක විශ්‍රාම ගත්තේය . එවිට ඔහු නිලධාරී 2වෙනි ශ්‍රේණියට උසස් වීමක් ලබා තිබුණි . 
නානා , අද එතෙරය . ලොකු තැනකය . නානා විතරක් නොව එදා ඒ මේසයේ තෝසේ හා සාම්බාරු එකට ඇඹරු බොහෝ දෙනෙක් අද වෘත්තීමය ලෙස බොහෝ දුර ගොස් ඇත .

නල්ලතම්බි ගේ ඒ උපදෙස බොහෝ දෙනෙකුට තවම මතක ඇත. එහි වටිනාකම මගේ වෘත්තිමය දිවියේ බොහෝ තැන්  වලදී අත්දැක ඇත්තෙමි, පිළිපැද ඇත්තෙමි  .  නිසි තැනදී කිව යුත්ත කීමෙන් මෙන්ම , කට වසා ගෙන සිටීමෙන්ද බොහෝ ප්‍රථිපල  ලබා ගෙන ඇත්තෙමි .

මෙය අපි වැන්නවුන්ට පමණක් නොව , රජෙකුට, ජනාධිපති කෙනෙකුට වුව මනා උවදෙසක් යයි සිතුනේ, පහුගිය දාක දුටු පුවත් සිරස්තලයකිනි .

" රණ විරුවන් අධිකරණයට කැඳවීම වැරදියි , ඒ ගැන මම කනගාටු වෙනවා , මේ ගැන මම දන්නෙවත් නෑ: සේනාධිනායක" කියා එහි සටහන් වී තිබුණි.

22 October 2015

අවුරුදු අටයි මාස අටයි දවස් කීපයක් // Looking in to the rear view mirror




2007 මුල දවසක, ඊ මේල් කරපු කවියක් කියවපු අයෙක් මට "ඇයි ඔබ බ්ලොග් එකක්  පටන් ගන්නේ නැත්තේ කියලා" කිව්වේ , මේ ඊ මේල් කරදරෙන් බේරෙන්නද කියලා මම අදටත් දන්නේ නෑ  . 

ඒ වෙනකොට බ්ලොග් කියන්නේ මොනවද කියලා මම දැන ගෙන හිටියා . උපන් රටෙන් ඇවිත් පිටරටක පවුලත් එක්ක තනිවෙච්ච මම, ඒ සාංකාව නැති කර ගන්න ලංකාව ගැන කියවන්න පටන් ගත්තම , අහම්බෙන් කොත්තු සින්ඩිය හමු උනා . ඒ  වෙනකොට සිංහලෙන් ලියවෙච්ච බ්ලොග් තිබ්බද කියලා මම දන්නේ නෑ  . එදා ඉඳන් කියවපු  සමහර බ්ලොග් (london lanka and  drums , indi .ca  ) තාමත් ලියවෙනවා ........ හැබැයි මේ බ්ලොග් සමග  පොඩි දුරස් බවක් නම් මට දැනුනා කියලා දැන් හිතෙනවා  .

ඔන්න ඉතින් මමත් (වැඩිය හිතන්න යන්නේ නැතිව ) බ්ලොග් එකක් පටන් ගත්තා . මුලින්ම පළ කලේ චායාරූප  සහ ඒවාටම ගැලපෙන්න වාක්‍යයක් හෝ දෙකක් . පොඩියට පටන් ගත්ත පුරුද්දට මා ඇබ්බැහි උනා . වැඩේ හීනියට ඇදිලා  ගියා.  මුළු 2007 අවුරුද්දටම කොමෙන්ට්ස් 30යි . සමහර පෝස්ට්ස් බලල තියෙන්නෙත් 5 දෙනයි .
ඔහොම කාලේ ගතවෙනකොට , මා ,  හිතන බාසාව ගැන  ටිකක් දුරට හිතන්න ගත්තා . මම නිගමනයකට ආවා  මිනිස්සු හිතන බාසාවක් තියෙන බව ට හා  මම  ඉංග්‍රීසියෙන් ලිව්වත් හිතන්නේ සිංහලෙන් බවට . ටිකෙන් ටික කවි , කතා බ්ලොග් එකේ  පිරවුනා . මේ වෙනකොට මම අන්තිම පේලියත් කියවන්න අරන්  .  අන්තිම පේලියේ ප්‍රතිචාර රැහැන්  දිගේ ගිහින් ඒ හා සබැඳුනු බ්ලොග් කියවන්න පටන් ගත්තා. සමහර බ්ලොග්  කියවලා කොමෙන්ට් කළා , සමහර බ්ලොග් කියෙව්වා විතරයි . 
යුද්දේ ඉවර වෙලා රටක් කිරිබත් කාපු සතියේ , මගේ හිතේ කතාවක් හිරවෙලා බරවෙන්න  ගත්තා . මේක කියා ගන්න විදියක් මම හෙව්වා , සිංහලෙන් ෆොන්ට් එකක් බා ගෙන මම මේක ලිවුවා . පලවෙනි සිංහල සටහන .

කාලයාගේ ඇවෑමෙන්   අලුත් අලුත් බ්ලොග් මම හොයාගත්තා.  බ්ලොග් කියෙව්වා , බ්ලොග් චරිත අඳුනා ගත්තා , ඒ පිටි පස්සේ ඉන්න මිනිස්සුත් කියවන්න ගත්තා . 
අවුරුදු අටක් තිස්සේ මම කියවන (පුළුල් අර්ථයෙන්ම ) පරාසය පළල්  වෙලා , ඒ දවස් වල කියවපු ටැබූ , වෙදනා , මාරයා , චාමි වගේම ඔබා ගේ ලියවිල්ල හිත තවම ඉල්ලුවත් , මේ අවකාශයත් මුහුකුරා ගිහින් කියලා මම හිතනවා . වෙන් වෙන්ව නම් වශයෙන් සඳහන් නොකළත්  බොහෝ ලියවුනු,  ලියවෙන බ්ලොග් මම කියවනවා. දිගටම ලියා ගෙන ආපු අය  අලුතෙන් එකතු වෙච්ච අය කියවලා මම රස විඳිනවා . කළ  , නොකළ යුතු දේ පිලිබඳ ඉගෙනගන්නවා . අලුත් කොල්ලෝ කෙල්ලෝ හිතන විදිය ඉගෙන ගන්නවා .  කොච්චර වෙනස් වුනත් , අපේ ජීවිත අඩි 20000ක් උඩට ගිහින් බලපුවහම කොච්චර සමානද කියලා තහවුරු කර ගන්නවා.

කොටින්ම දවසකට විනාඩි 15ක් විස්සක් ලංකාවට ගිහින් "සෙට් " වෙනවා  (සෙට් වෙනවා කියන එකට වඩා ශාස්ත්‍රීය වචනයක් මට හිතට එන්නේ නෑ. එතන සියලු රස කැලතුන  බව , හර්දයාංගම බව තියෙනවා කියලා හිතෙනවා   )

බොරු කියන්න ඕනේ නෑ  , බොහෝ ලේඛකයන් වගේම , ප්‍රතිචාර , මා වත් උනන්දු කරවනවා . ඒත් බොහෝ විට කිසිම ප්‍රතිචාර නැතිවත් දිගටම ලියුවේ ඇයි  කියලා 
කියන ප්‍රශ්නෙත් හිතට නැගෙනවා(පහුගිය දවසක මම හෝටලයක ලොබියක , ගයන ගායකයෙක් දිහා බලා ගෙන උන්නා . ලොබියේ තුන් දෙනයි . උනුත් සින්දු අහන්නේ නෑ  . ඒත්  රස්සාව නිසා අර මනුස්සයා සින්දු කියනවා ...මමත් ඒ වගේද (රස්සාව වෙනුවට පුරුද්ද ) කියලා එවෙලේ මට හිතුනා )

අර ඉස්සර කකා ගේ බ්ලොග් එකේ තිබ්බා වගේ  " කියන්න කතාන්දර ගොඩක් තියෙන කතන්දර කාරයෙක් " ද මං  , කියලත් හිතෙනවා ...
හැබැයි මේ  pinchpoints ... ඒ කියන්නේ නාභි ලක්ෂය , නැත්නම් කෙනෙත්තුම් පාර ,.. හිටපු ගමන් පොල්ලෙන් ගැහුවා වගේ ඔලුවට එන දේ පාක් කරන තැනක් ... ඒකයි  විහිදුනු යථාර්තය මදකට පෑදී පෙනෙන කියලා ටැග්  ලයින් එක දැමුවේත්. 

මගේ පරණ දින පොතක මම ලියලා තියෙනවා , "මම මතක තියාගන්න චායාරූප ගනිමි, අමතක කරන්න ලියමි" කියලා . ඇත්ත. ලියලා මම හිත සැහැල්ලු කර ගන්නවා . 

මම මේ සටහන කිහිප විටක් මේ අවුරුද්දේ පෙබරවාරියේ සිට ලිය ලිය , පැත්තකින් තැබුවේ ... අවුරුදු අටක ලියවිල්ල ගැන උදම් ඇනීම නොහොබි යයි හිතුනු නිසා . දැනුදු මට එලෙසම සිතුනත්  මෙය අද පලකරන්නේ එක හේතුවකට . 


ඔබේ සුභ පැතුම් නොව , මගේ සටහන් ගැන වෙනස් විය යුතු, වැඩි දියුණු කර ගත යුතු ( කොටින්ම feedback ) යයි ඔබ හිතන දේ ගැන ප්‍රතිචාර දක්වන්නේ නම් මම ඉතා කැමැත්තෙමි .... 

අර කවුදෝ කෙනෙක් කිව්වා වගේම  ගල් නම් වඩා හොඳය, සෝඩා එපාය.


19 October 2015

ෆෘට් සැලඩ් මතක සහ විවිධත්වය හා අනුගත වීම පිලිබඳ ෆෘට් සැලඩ් න්‍යාය// fruit salad memories and fruit salad theory of diversity and inclusion



ඒ දවස් වල බොහෝ විට ෆෘට්  සැලඩ් එකක් අපේ ගෙදර හැදුනේ දානේකටය. බොහෝ විට මේ පලතුරු ගෙනාවේ නුගේගොඩ පොලෙන්ය . "ෆෘට් සැලඩ් එකකට " කියා කිව්වහම අඹ විකුනපු මුදලාලි , ගොඩේ යටින් හොඳ ගෙඩි තෝරා දුන් හැටිද මතක් වේ . මෙහි කිසි තාර්කික පදනමක් නැතත් , ඒ දවස් වල ෆ්රුට් සැලඩ් හා දානේ ගෙවල් අතර තිබු සම්බන්ධය නිසාම එය කළා යයි දැන් හැඟේ . ෆෘට්  සැලඩ් එකක හැදීම මහා ව්‍යාපෘතියකි . පලතුරු හේදීම , ලෙලි ගැසීම , කෑලි කැපීමෙන් පසු එය බේසමක මිශ්‍ර වන්නේය . එය දුටු විට නම් මට දැනුනේ මහා අප්පිරියාවක්මය . නමුත් එය ඉවසා ගෙන ඒ අසල ගැවසුණේ , ඉතුරු අඹ ඇට ටික ලැබෙන නිසාය . නමුත් පසුව බෙලෙක් හෝ ප්ලාස්ටික් කෝප්පයකට , අයිස් ක්‍රීම්  හැන්දක් යට හංගා දුන් විට කිසිම සිඟිත්තෙක්  එය එපා කියන්නේ නම් නැත .

***

"ගෑණු ප්‍රතිශතය හරි ... දැන් අබ්බගාත පොරකුයි , අන්දයෙකුයි , සමලිංගිකයෙකුයි දෙපාර්තුමේන්තුවට ගත්තා නම් මගේ විවිධත්ව (diversity ) ටාගට් එක හරි "

ඒ අපේ ආයතනයේ සංස්කෘතික විවිධත්වය ,  සැමට සම තැන ගැන ලියවුනු මහා සිද්ධාන්ත,  ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවෙන හැටිය .  මෙය අපේ ආයතනයේ පමණක් නොව ලොව වටා බොහෝ ආයතන වල තත්වය යයි මම විශ්වාස කරමි .

විවිධත්වය මුලින්ම පිළිගත යුතුය (accept) , ඉන්පසු එය වැළඳ ගත යුතුය (embrace). නමුත් බොහෝ විට Diversity කතාන්දරය එතනින් නවතී 

 මෙය පලතුරු වට්ටියක ඇති විවිධ පලතුරු , අතගා , සුවඳ බැලීමට සමාන කර සිතන්න . අඹ ගෙඩි අඹ ගෙඩි ලෙසද , අන්නාසි අන්නාසි ලෙසද , කෙසෙල් ගෙඩි කෙසෙල් ගෙඩි ලෙසද හඳුනා ගනිමු . නමුත් වැදගත්ම පියවර එන්නේ මින් පසුව ය. එනම් අනුගත කර ගැනීමය (inclusion). 

මෙය, එක විදියකට පලතුරු ලෙලි ගසා , ඉඩ ඇති බඳුනකට දමා පලතුරු සලාදයක් සැදීම වැන්න . ෆෘට්  සැලඩ් එකක දැනෙන්නේ මිශ්‍ර පලතුරු රසය මිස , වෙන් වෙන් පලතුරු රසය නොවේය . වෙන් වෙන් පළතුරැ සියල්ල වෙන් වෙන්ව කෑවත් (බඩේ දී ෆෘට්  සැලඩ් වෙන්න ) , ෆෘට්  සැලඩ් අත්දැකීම හා සම නොවන්නේය . පලතුරු සලාදයකට පලතුරු සම සම ගන්නේ නැත . වැඩි ඇඹුල් දේ මද වශයෙන්ද , බහුල දේ වැඩි වශයෙන්ද ගනිමු . එහෙත් ඇඹුලේ  ඇඹුල , අන් සියල්ල අභිබවා මතුවෙන අවස්ථාද . සංස්කෘතියන් ද මෙසේමය . සැර  සංස්කෘතික ලක්ෂණ අනුගත වීම තුලද මතුවේ . රහස තියෙන්නේ හරි මාත්‍රාව සොයා ගැනීමෙහි මය . කෙසෙල් ගෙඩි ඇවරියක්  පෙති ගසා , අන්නාසි පෙත්තක් දමා පලතුරු සලාදයක් වෙන්නේ නැත . එමෙන්ම එය අන්නාසි දැමු පමණින් අන්නාසි සලාදයක් වෙන්නේද නැත 

ෆෘට්  සැලඩ් එකේ පලතුරු වෙනම රස නොදැනුනද , සුමිශ්‍ර රසයක්ම දැනුනද , හදිසියේවත්  එක්  පළතුරක් දමන්නට බැරි වුව හොත් නම් එම පලතුර නොමැති බව තේරෙන්නට ගනී .

විවිධත්වය හා අනුගත කර ගැනීමද මෙසේමය . නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගත යුතුය  (ඇඹුල් කෙහෙල් වෙනුවට රත් කෙහෙල් ගෙඩියක් කපා දැමීමෙන් වැඩේ ගොඩ දා ගන්න බැරිය . කාන්තාවන් නියෝජනයට රෝසි සැලකීමේදී වේවා , දෙමළුන් නියෝජනයට සම්බන්ධන් සැලකීමෙදී වේවා මෙය පොදුය .). සියලු අමුද්‍රව්‍ය නියමිත මාත්‍රාවට බඳුනට දැමීය යුතුය ( අඹ පැත්තකින් තියා සැලඩ් එක ඇනීමෙන් වැඩේ ජෝන් බාස් වේ) . හොඳට ඇනිය යුතුය (හොඳින් ම ඇනිය  යුතුය . නමුත් වැඩියෙන් ඇනුවොත්  වැඩේ චොර  වේ ) .

විවිධත්වයන් හඳුනා ගැනීමේ අවසාන ඉලක්කය අනුගතවීමම විය යුතු  යැයි. අනුගත වීමේ අවසාන ඉලක්කය , ලේබල් හැලීම දක්වාම විය යුතු යැයි , සිතමි . ආයතනයක විවිධත්ව ඉලක්ක , සමතැන දීම වේවා , රටක ජාතික ඒකාග්‍ර තාවය වේවා, මෙය පොදු යයි සිතමි .

මතක තබා ගන්න "අන්නාසිත්  තියෙන නිසා සැලඩ් ඒක ජාති" කියා මිස , "අන්නාසි තිබුනත් සැලඩ් එක රසයි " කියා අපි කිසිදින නොකියමු.

එසේ නම් ....?

17 October 2015

කලින් ගෙදර යාම // Coming home unannounced

හිටපු ගමන් මම එනවා 
හතරයි හතලිස්පහේ 
රතු ඉරට හොරෙන් 

යතුරු හිලට ඇහැ තියා 
බලන නුඹ 
දෙඇස් පොඩි 
විස්මිතව 
පිපෙනවා 
බලන්නට 

දොර ඇරෙන පමාවට 
රළ  නගන 
හද ගැස්ම 
අහන්නට 

අත් පොඩි ගෙලවටා 
වෙලෙන 
උණුහුම් සුවය 
විඳින්නට 

හිටපු ගමන් මම ගෙදර එනවා 
නොකියාම 
කලින් 

දිනෙක 
උඹත් අවුත් 
නොකියාම 
පුදුම කරාවී  
මා 

***

I disrupt order 
now and then
and come home early

To see your eyes sparkle 
as you look through 
the peep hole

To hear your gasp 
on the other side 
of the door

To see feel
your embrace 
warmth

Someday 
you will 
surprise me too

when you come 
unannounced 

14 October 2015

රූපසිංහ මාමාගේ රූප පෙට්ටිය සහ මත්තල වී ගබඩාව

රූපසිංහ මාමා වැඩ කලේ කොළඹ සුද්දෙක් ගේ ගෙදර ය. ගමේ කොයි කවුරුත් ඔහුට ගරු සරු දැක් වුවේ , කොළඹ වැඩ කළ  නිසාත් , කකුල් දෙකටම කලිසම් ඇන්ද නිසාත් ය. රස්සාව ද වැදගත් ය . ඩ්‍රයිවර් මහත්තයෙක් ... අනික මේ ගමේ උන්නු බස් ඩ්‍රයිවර්ලා , ලොරි ඩ්‍රයිබේල්ලා , ටැට්ටර් එලවන එවුන් වගේ නොව ....රූපසිංහ මාමා එලෙව්වේ අලුත්ම අලුත් ජපන් කාර් එකක්ය . 

අසු දෙකේ අවුරුද්දේ , සුද්දා ආපහු යන්න ගියේ කාර් එක විකුණා දමාය . අනිත් ගෘහ භාණ්ඩ සේවකයන් අතර බෙදා දුන්නේය . මේවා අතරින් එකක් දිහා රූපසිංහ ඇහැ ගසා ගෙන සිටියේය . ඒ පොඩි , කලුසුදු රූපවාහිනියකි . 
"සර් ගිවූ මී දිස් " රූපසිංහ ඉල්ලුවේය .

"බට් , යු නීඩ් අ ඩිෂ් .." සුද්දාට ලෝබ හිතුනද කොහේද , රූපසිංහ සිතුවේය ....
" ඉට්ස් ඕකේ සර් ...ඉට්ස් ඕකේ ... අනේ ඔන්න ඔහේ ගිවූ මී දිස් " ඒත් රූපසිංහ මේ ඇස්  ඉදිරිපිට ඇති නිධානය අත  අරින්නට සුදානම් වූයේ නැත . 

සුද්දා ඔන්න ඔහේ එය රූපසිංහට දුන්නේය .

රූපසිංහ මෙය ගෙදරට වඩම්මා , සාලයේ කැබිනෙට්ටුව උඩින් තැබුවේය .  ටවුමේ ඉඳන් වෑන්  එකටම හොඳ ගානක් වියදම් විය ... ඒත්  ටීවී එක නිකන් නේ රූපසිංහ හිත හදා ගත්තේය .

වැඩේ පත්තු වුයේ ඉන් පසුවය . ගමට ලයිට් නැත . රූපසිංහ කාර්  බැටරියක් සල්ලි දී ගෙන විත් වැඩේ ගොඩ දා ගන්න බැලුවේය . 

රූපවාහිනී විකාශනය ගමට සම්ප්‍රේෂණය වන්නේද නැත . 

කොටින්ම රුපසිංහගේ ඉංග්‍රීසියෙන්ම කියනවානම් , දැන් " හැවූ  ටී වී , නෝ  සෝ " ය  

"ගමට ලයිට් ආපු දාක , රූපවාහිනී තරංග ගමට ආ දාක , සුද්දා වගේ ටීවී බලන්න පුළුවන් . මේක අනාගත ආයෝජනයක් . මේ ගානට ( නිකන් නේ ) හම්බු වෙන්නේ නෑ  ."  රූපසිංහ ගේ තර්කයද ලිහිල් නැත . 
එතකං, රූපසිංහ ගේ මායියා රූපවතී , ලස්සනට මල් මහපු කවරයක් මසා  රූප පෙට්ටිය ආවරණය කලාය . 

කාලය ගත විය . රූපසිංහ ගේ ගෙදර , ටීවී ගෙදර විය . රූප  පෙට්ටිය ඔහේ සාලේය . ගෙදරට එන උන්ගේ අත පත ගෑමද නැවතී ගියේය . පහු පහු වෙත්ම  මෙය ඇහැක ආ නගනයක් මෙන් , ඇහැට වද  දෙන්නට විය .

රූපවතී දවසක් මල් වාස් එකක් මේ මත  තැබුවේ , ඔහේ තියන දෙයින් වැඩක් ගන්නය .

***
රූපවාහිනිය නොමිලේ ලැබුන නිසා , රූපසිංහ එය උස්සාගෙන  ටවුමට ආවේය. ටවුමට ආ පසු මෙච්චර දුර ආපු එකේ කියා වෑන් එකටද සල්ලි දුන්නේය ... ගෙදර ගෙනා පසු , ගෙනාපු එකේ කියා සල්ලි දී බැටරියක්ද ගත්තේය . 

ටවුමේදී රූපපෙට්ටිය විසි කළා නම් සල්ලි ඉතුරුය .

ඇතැම් විට ගමට තරංග සම්ප්‍රේෂණය වෙන විට , ගේ ළඟටම බස් එක එන්නට පුළුවන . ගමට ලයිට්ද තිබෙන්නට පුළුවන 
ව්‍යාපෘතියක් ඉදිරියට යෑම  ගැන තීරණ ගැනීමේදී , මෙතෙක් වියදම් වූ මුදල ප්‍රමුඛතා අතින් පහලටම වැටේ . ඒ බව සිහි තබා ගැනීම වටී .

රූපවාහිනීය  මත මල් බඳුන් තැබීම වැරදිය . කාගේ උනත් සල්ලිය. අනාගත ආයෝජනයක් ලෙස ගත්  රූපවාහිනිය , එහි ප්‍රතිපල ලැබෙන තෙක් පරිස්සම් කර ගත යුතුය. රූපවතී කළ  දෙය වැරදිය .

අනෙක් අතට ඒත් නොබලන රූපවාහිනියෙන් වැඩක් නැත .කොහොමත් මෙය පාවිච්චි ක‍රන  කාලේ එනකොට අබලන් වී තිබෙන්නටද ඉඩ ඇත . එසේ නම් රූපවතී නිවැරදිය .

අනාගත ආයෝජන ගැන තීරණ කිරීමේදී , ක්ෂය වීම (Depreciation) ගැනද සැලකිය යුතුමය 

***

මත්තල වී ගබඩාවක් තිබෙන්නේය . ඒ පැත්තේ ගිය වෙලාවක බලන්න යන්න ඕනෑ ය 

12 October 2015

මේ අතරේ ....// In the meantime

ඒක නෙමෙයි දන්නවාද ?
 ලෑස්තියි 
දැන් 
ලණුවත් 
චියරින් ඉස්කොඩ් එකත් 
අත්සන් කරන්න ඇට්ලස් චූටි පෑනත් 
චුදිතයා විතරයි ඕනේ 
එල්ලන්න 

අල්ලපු ගමන් ඕකා 
දෙකක් ඇනලා 
යටි බඩට 
(දකුණු පැත්තට නීතිය 
වම් පැත්තට සාමය )
පස්චාත් තාපය ඇතිකරලා 
වාමාරලා 
පාපොච්චාරණ 

හිතේ සැකේ බය දුරු කරන්න 
පවිටු අදහස් නැතිකරන්න 
ධර්මිෂ්ට 
සමාජයකට මග පාදගන්න 
එල්ලන්න නෙමෙයි 
තියෙන්නේ ඕකුන්ගේ 
බෙල්ල කපන්න 

සෞදියේ වගේ ?

ඒත් ...සෞදියේ 
බෙල්ල කපනවා 
බලන අතරේ 
ගහනවලු 
පික් පොකට් 

.....මෙහෙත් එහෙමයි 

නෑ හ් ?!!!

10 October 2015

කොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හෙවත් Boy's Town





මෙය මේ පින්තුරයේ සිටින අය  ගැන සටහනක් නොවේ ය . එනමුදු මේ පින්තුරය මෙහි ඇතුලත් කරන්නේ , ඉන් තොර ලොවක් ඇති බවත් , මේ දකින දේ ඊට පුළුල් සංසිද්ධියක කොටසක් දැයි පුළුල් කතිකාවක් ඇති කිරීමත් උදේසාය .

කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් සටහන පටන් ගනිමි . වසර 2000- 2005 අතර ලොවේ ජනයාගේ දළ උපරිම ආයු කාලය අවු 66 විය .  එය 2025-2050 වෙද්දී අවු 80 දක්වා වැඩිවේ යයි අපේක්ෂිතය . මීට අමතරව ළදරු මරණ සංඛ්‍යාව අඩුවීම , උපත් මරණ අනුපාතයේ වෙනස්කම්  හා වෙනත් සාධක , ජන සංයුතිය වයස් ගත වීමේ ප්‍රවනතාවයක් දක්වා විකාශනය වේ . ලංකාවේද මේ ප්‍රවනතාව නැතැයි සිතීමට හේතුවක් නැත . පහුගිය ජන සංගණනය අනුවද , මුළු ජනගහනයෙන් 30% පමණ වයස 50ට වඩා වැඩිය . ඒ කියන්නේ කොල්ලෝ අඩුවී අන්කල් ලා වැඩිවේ .

කොල්ලන්ට  බොහෝ විට ඇත්තේ දිස්නේ ගහන , ෂෝ ඕෆ්  හීනය . එහි වරදක් නැත . අඳින්න , කන්න , බොන්න , සැන්ට් පව්ඩර් දාන්න , හොඳ ඔරලෝසුවක් , බ්‍රේස්ලට් එකක් දාන්න (bling bling ). , කිරි ටොයි වාහනයක් පදින්න , එලකිරි කෑල්ලක් ( මගේ වදන් වල political incorrectness ගැන සමාවන්න ) කරේ එල්ලන් , ටොයි ජොබ් එකක් කරන්න ... මේවා කොල්ලන්ගේ හීනය . 
නමුත් වයසක මිනිසුන්ගේ හීන එහෙම නොවේය  ( මා මේ කියන්නේ නෙක්ටෝ ඔරේජන් බාර්ලියක් බීමේ අහිංසක නොස්ටලජික් ෆැන්ටසියක සිට කොට කලිසම් ඇඳගෙන  මැදි වයසේ පප්පලාගේ බැක්  ටු ඉස්කූල් (back  to  school ) වැනි 
නොස්ටලජික්පෝර්න් විගඩම් ගැන  නොවේය) . වයසක මිනිසුන්ට ඇත්තේ සැනසුම , නිස්කලංක බව , ස්ථාවරත්වය  හා ලෙගැසිය පිලිබඳ හීන ය.

ඒත් .... ලංකාවේ සමාජයට ඇත්තේ මොන වගේ හීනද ?

ඕල්ඩ් බෝයිස් හමුවකට තට්ටේ වැහෙන්න ජෙල් ගා කොන්දේ පීරූ  අයෙක් අවුත් තමන්ගේ ටොයියා වාහනේ යතුර , ස්මාට් ෆෝන් එක ,  හැමෝටම පෙනෙන්න මේසය උඩ තියන්නේ ..... ඒ කොලු සිහින වයස නොසලකා ඔඩු දුවා .... ඒවා ලඟා කරගත් විට උදම් අනන්නද ?... මාලක සිල්වා වේවා, නාමල් වේවා .... කොලු සිහින උපරිමයෙන් විඳින උන් දකින විට අපේ හිතේ  බුර බුරා නැගෙන කෝපය .. අපට ලඟා කරගත නොහැකි වූ , ඒත්  උන් ලබා ගත් හෙයින් වූ ඉරිසියාවක්මද ?....

(මෙය ධනවාදී සමාජයක ආවේනික ලක්ෂණ යයි අයෙක් කියන්නට පුළුවන . ඒ ගැන මගේ විවාදයක් තිබුනද , මගේ දේශපාලන දැනුමේ තරම දන්නා මම , මට වැරදිය හැකි බවද දනිමි .
 ඇතැම් විට මාස්ලෝ ගේ අවශ්‍යතා ත්‍රිකෝණය (මෙය යල් පැන ගිය සංකල්පයක් යයි මා විශ්වාස කලත් )  ඇසුරෙන් මීට හේතු දැක්විය හැකිව ඇති. මම හේතුව දක්වන්නට නොයා නිරීක්ෂණය පමණක් දක්වමි .) 

සිහින ගැන පමණක් නොව අනෙක් දේවල් ගැනද සිතමු . උදාහරණයක් ලෙස සමාජයේ (පහසුවෙන් ) විකිණිය හැකි සංකල්පයන් ගැන සිතන්න . කොල්ලන් ආකර්ෂණය වෙන්නේ , ට්‍රෙන්ඩ්ස් වලටය. ප්‍රජාතන්ත්‍රවාදය වේවා , සමාජවාදය වේවා , යහපාලනය වේවා , විප්ලවවාදය වේවා , පැකින් කඩපු ගමන් එන අලුත් සුවඳට කොල්ලන් වසඟ වේ . ඒවායේ පවතින සාක්ෂතාව, ගැඹුර , උචිතත්වය ගැන එතරම් නොසිතති .

නීතිය ගැන කොල්ලන්ගේ ප්‍රතිචාරයද ක්ෂණික නූඩ්ල්ස් ගණයේය. ඇහැට ඇහැක් විනා , ඉන් ඔබ්බට නොසිතති.

මෙතෙක් ලියාගෙන ආ මම නැවතී , අර පෝස්ට්  එකේ මුලින්ම ලියු වාක්‍ය නැවත කියවමි . මේ සටහන ඒ පින්තුරයට සම්බන්ධයක් නැතුවාම නොවේ යයි මට සිතේ . සමාජයක් හැටියට වයසට යත්ම එය මුහුකුරා යා යුතු යයි , පරිනත විය යුතු යයි , නිවී තැන්පත් විය යුතු යයි සිතමි .

වන්දනා ගමනක් යනවිට , නඩේ ගුරා ගෙනියන්නේ ඔහුගේ අත්දැකීම් හා පරිනත බව උදෙසා මිස ඔහුගේ තාරුණ්‍ය හා ජවය උදෙසා නොවේය .  නමුත් අපේ රට යන වන්දනාවේ නඩේ ගුරා ( මේ එක පුද්ගලයෙක් ගැන නොව පරපුරක් ගැන ය. අපේ පරපුර ගැනය ) කොල්ලෙක් ද  නැත්නම් ඊටත් වඩා නරක (අලුත් අදහස් වත් හිතේ පැන නොනගින ) කොල්ලෙක් වෙන්නට හදන අංකල් කෙනෙක් දැයි මට සිතේ.

මේ සටහන අවසන් කිරීමට වාක්‍යයක් කල්පනා කරමි. ඒත් එවැන්නක් ඔලුවට එන්නේ නැත . Grow up  Sri  Lanka  කියා දැනට ලියා තබමි 

පලි : මෙය කාලයක් තිස්සේ මගේ සිතේ කැකෑරුන සිතුවිල්ලකි . ඔබ මෙයට එකඟ නොවෙන්නට පුළුවන. අලුත් අලුත් දේ නොසිතා ප්‍රගතියක් නැතැයි කියන්නට පුළුවන. නමුත් මෙය ඊට වඩා ජීවිත දැක්ම පිලිබඳ , ජීවිතයේ ප්‍රමුඛතා පිලිබඳ සිතුවිල්ලකි  . මෙය වෙන කෙනෙකුට ඇඟිල්ල දික් කිරීමක් වෙන තරමටම,  ස්වයං විවේචනයකි . පොඩි දරුවෙකුට young  man යයි අමතන  (මැදි වයසට ළඟ ) මමද, සම වයසේ අය "එළ  කොල්ලෙක්" කියා හැඳින්වීමට පසුබට නොවෙමි. අර කෙනෙක් කියා ඇති පරිදි වයසට යාම අනිවාර්යය , ඒත් පරිණත වීම තෝරා ගැනීමකි ; මිනිසෙකුට වේවා , රටකට වේවා  

07 October 2015

ගෝල්පීස් නොස්ටල්ජියා

අපි කෝර්නල්ස්  සුපර් මාකට් එක ඉස්සරහ බස් හෝල්ට් එකේ හිට ගෙන ඉන්නවා මතකයි . ඒත්  එතනට ආපු හැටි නම් හරියටම මතක නෑ . එදා ටිකක් විශේෂ දවසක්... මොකද , අප්පච්චියි මායි  විතරයි මේ ගමන යන්නේ  .. මලයා පොඩි නිසා මුළු පවුල් පිටින් බස් එකේ යාම ටිකක් ලොකු ව්‍යාපෘතියක් . අම්මයි අත්තම්මයි  ගෙදර නතර වුනා .. කොහොමත් ගෑනු එක්ක ඔය ගමන යන්න වුනා නම් එදා ඒ ගමන යන්න වෙන්නේ රෑ වෙලා තමා ....අම්මා මගේ කොන්ඩෙත්  පැත්තට පීරලා , පුයර ටිකකුත් මූණේ  උලලා , කමිසේත් යට කළා ඉලාස්ටික් ඉණැති කලිසම් කොටේට .... ගෙදරින් එලියට බැස්ස ගමන් මම අතින් කොණ්ඩය අවුල් කරගත්තා මට ඕනේ විදියට . 

කෝනල්ස් එකේ මිදුලේ කාර් දෙකක් තියෙන්න ඇති වැඩිම . එකෙනුත් එකක් මොරිස් මයිනර් ටැක්සියක් . අප්පච්චි ඒ දිහා බලලා මා දිහා බැලුවා .මේක ඇතුලේ තියෙන දේ ගැන මට මහා කුතුහලයක් ආවත් , අප්පච්චිගේ බැල්මෙන් පස්සේ ඒ ගැන අහන එක මම අමතක කළා .

රතු පාටට බැබලි බැබලි ඔන්න එනවා බස් එක .. ඩබල් ඩෙකර් , තට්ටුම දෙකයි ... "යමු පුතේ උඩට " අප්පච්චි මගේ හිත කියවනවා ..වීදුරුවක් අයිනේ ඉඳගෙන මම පාර බලාගෙන යනවා . වීදුරුවෙන් එන හුලං  පාරට මම ඇස් දෙක ඇර  ගෙන   ඉන්නේ අමාරුවෙන් . 

දැන් නම් ගොල්පීස් නොගියත් කමක් නෑ . මේකෙම රවුමක්  දෙකක් ගියානම් ඇති .

එතනින් පස්සේ memory lapse එකක් , මතක පථය පොඩ්ඩක් මැකිලා ගිහින් . ... ආයේමත්  මතකෙට එන්නේ මම සරුංගලයක් දිහා බලාගෙන ඉන්නවා ඇලරික්ස් අයිස්ක්‍රීම් එකක් කකා ... අයිස්ක්‍රීම් එක වේගයෙන් දියවෙනවා ... අත දිගේ බේරෙනවා . මම ඒක දියවෙන්න කලින් කොහොම හරි පුළුවන් තරමක් කන්න වලිකනවා . අයිස්ක්‍රීම් ගුලියක් මම ගිලිනවා .. කොහේදෝ නුපුරුදු නිලයක් සංවේදී වෙනවා ..උගුර දිගේ බඩට යනකන් හීතල වේගෙන යනවා . 

සරුංගල් කාරක් අපි ලඟට එනවා . "සෑර් බබාට සරුංගලයක් ගමු " ඔහු යෝජනා කරනවා . ඔහුගේ අතේ නූල් කඩා ගෙන අහසේ ඈතට ඈතට යන්න නයි , මොනරු , මාළුවෝ , කොම්බුවෝ , වවුලෝ දඟලනවා ...

"කීයද අර පොඩි එක? " . පිළිතුර මට ඇහෙන්නේ නෑ  . අප්පච්චි සාක්කුවේ සබ්බ සකල වස්තුව එලියට අරන් ගණන් කරනවා ..  "එපා , දැන් කළුවර වෙන්නත් ලඟයි නේ "... සරුංගල් කාරයත් මද හිනාවක් පානවා  . ඒ හිනාවේ අවඥාවක් නොතිබූ බවත් , සියුම් අනුකම්පා සහගත බවක් , ප්‍රශ්නය තේරුණු බවක් තිබු බවත් මට දැන් හිතෙනවා .

"බබා පොඩ්ඩක් නූල  අල්ලන් ඉන්න " ඔහු මට රටක් රාජ්‍යයක් බාරදෙන්න යනවා 

" පුතේ අපි ගෙදර ගිහින් සරුංගලයක් හදමු ....ඔය හුලන් පෙත්තක් දෙනවා අපිට " අප්පච්චි මට තවත් පාඩමක් නොකියා කියා දෙනවා . එදා නොකීවත් අවුරුදු ගානකට පස්සේ එය වචන වලට පෙරලන්නෙත් ඔහු 
"there is  no  free  lunch "

අවුරුදු තිහකට විතර පස්සේ , පහු ගිය දිනෙක ගාලු මුවදොර පිටියේ ඉඳගෙන මම කවියක් ලියනවා .. ගෝල් පීස් වෙනස් වෙලා . එන මිනිස්සු ...වෙරළ ...එහා පැත්තෙන්  ඉදි වෙන වැලිපරය .. පෝට්  සිටිය ...ඔක්කොම වෙනස් ... ඒත් ....


ගාලු මුවදොර 
රළ නගයි තවම 
හුලං  හමන අතට 
සරුංගලේ බිම දිගේ ඇද ගෙන 
දුවපු 
අන්නාසි , ඉස්සෝ වඩේ 
දිහා බලන් 
කෙළ  ගිල්ල 
කොලුවා 
හිඳී තවමත් 
පිටිය මැද 
ඒත්  රැල්ල පාගන්න නම් 
දැන් බැරුවා 


පලි : අපේ අප්පච්චි දැන් ජීවතුන් අතර නැත . ඔහු මිය ගිය වයසට මම වේගයෙන් ලංවෙමින් සිටිමි . අපි සිතුවත් නැතත් , අපේ පියවරු අපේ උතුරු තරු යයි මම සිතමි . දිනක කෙළ වෙන විට උතුර සොයා , දිවි මගේ  මග සලකුණු කරගන්නේ ඒ උතුරු තරුව දෙස බලාගෙනය . තව වසර කීපයකින් මම අපේ අප්පච්චි මිය යන විට වයසට වඩා වියපත් වෙනු ඇත  ..එය මට අමුතු සිතුවිලි ඇති කරයි . විටෙක මා බිය කරයි , විටෙක මා දෙපයට මහා ශක්තියක් දේ ... එදාට හිතෙන දේ එදාට ලියන්නම් 

04 October 2015

මෙව්වා පාලනේ , මෙව්වා එක හදන හැටි හෙවත් yahapalanising the budget

එකමත් එක රටක   මෙව්වා මණ්ඩලය රැස්වුයේ ඉදිරි වසරට රජයේ මෙව්වා එක ගැන සාකච්චා කිරීමටය . රටේ ජනාධිපති තුමා කතාවට මුල පිරුවේය 

" දැන් මේ අපි ප්‍රජානන්නත්තරවාදය , යහමින්පාලනේ අරවා මේවා කියලා හරියන්නේ නෑ  රටේ සංවර්ධනේ  කෙරෙන්න , ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්න එළකිරි බජට් එකක් හදන්න ඕනේ ... කියන්න බලන්න තියෙන යෝජනා "

සෞඛය ඇමති තුමා : සර් දැන් බලන්න මේ මිනිස්සු තෙල් සීනි  මිරිස් එතකොට මස් බටර් චීස් අරවා මේවා වැඩිපුර කාලා ලෙඩ වෙනවානේ . ඉතින් ඔය ඔක්කොටම බදු ගහන්න ඕනේ මිනිස්සුන්ට කන්න බැරි වෙන්න . ගුණ කෑම විතරක් මිළ  අඩු කරමු .....මම දොස්තරනේ මම දන්නවා 

ඒත් ඔහේ දත් දොස්තර නේද ? හරි කමක් නෑ ... එහෙම බලපුවම කන්න මොකුත්ම ඉතිරි වෙන්නේ නෑ නේ ..එතකොට මොනවද එතකොට මිනිස්සුන්ට ගුණ කෑම  හැටියට ඔබතුමා යෝජනා කරන්නේ 

සර් මම යෝජනා කරනවා ගෝවා , පතෝල  සහ පුවක් 

සමාජ සුභ සාධක නියෝජ්‍ය ඇමති : සර් අපි බදුත්  වැඩි කරලා ඕවා කන එවුන්ට මරණ දඬුවමත් දෙමුද 

ඒක  මම පාර්ලිමේන්තුවට යොමු කරනවා . වෙන මොකුත් යෝජනා තියෙනවද ?

ප්‍රවාහන ඇමති : සර් , මේ මිනිස්සු ගේ ව්‍යායාම අඩු නිසාත් ලෙඩ වෙනවා , ළඟ කඩේටත් යන්නේ වාහනේ . මම යෝජනා කරනවා සර් මේ වාහන ඔක්කොටම අම්බානකට බදු ගහමු කියලා එකෙකුටවත් යන්න බැරි වෙන්න .

එහෙම නෙමෙයි අයිසේ ඔය ත්‍රී වීල් , මොටෝ සයිකල් වලට එහෙම ඕනේ නෑ නේද 

පිස්සුද සර් ඒවා තමා වැඩියෙන්ම හානීදායක 

සමාජ සුභ සාධක නියෝජ්‍ය ඇමති : සර් බදුත්  වැඩි කරලා ඕවා යේ යන එවුන්ට  මරණ දඬුවමත් දෙන්න  තියෙන්නේ 

අනේ ඕයි මේ .... මට නම් මෙව්වා නෑ මේවා , අපේ මෙව්වා පාලනේට 
ගැලපෙනවද කියලා හිටන්,   වෙන මොනවද තියෙන්නේ යෝජනා ?

මාධ්‍ය අමාත්‍ය : සර් දැන් මේ බලන්න පත්තර වල තියෙන හරියක් තියෙන්නේ අපරාධ . එතකොට ටීවී එකේ තියෙන හරියක් තියෙන්නේ මෙගා , රේඩියෝ එකත් ගන්න දෙයක් නෑ  . මිනිසුන්ගේ මනස දුෂණය වෙනවා , මෙව්වා එක මෙව්වා වෙනවා 

ඒක හැබෑව , ඉතින් බජට් ම නොවුනත් මොනවද ඒ ගැන තියෙන යෝජනා 

නෑ  නෑ  සර් බජට් තමා . ගහමු සර් බදු ඕවටත්  , මිනිස්සුන්ට ඔය ජරාව බලන්න බැරි වෙන්නම 

අයිසේ දැන් මෙහෙම ගියහම , මිනිස්සුන්ට වෙන්නේ පතෝල කාලා , රෑට අරක කොරල නිදා ගන්න නේ 

වනිතා කටයුතු ඇමතිනි : සසස ර් ර් ... 

ඔව් මොකෝ 

අපිට කාන්තාවන් ගේ අයිති වාසිකම්, සුබසිද්ධිය සහ ඇති විය හැකි පීඩනයන්  හිතන්න වෙනවනේ ...ඉතින්  කියපු අරකත් වැඩිය නොකරන්න බද්දක් ගහන්න කියලා මම යෝජනා කරනවා 

02 October 2015

කව් පොකුණ // Collecting Poems




මුලින්ම මේ වීඩියෝව බලන්න 



Deep in a forest 
Any forest , be it

Congo or
Amazon herself
draped in her sister’s cloak
the monsoon veil
 the soaring tree tops
where old bird songs
and  Un sound cries of crushed saplings  
are suspended
and the high reeds 
edge
A pond of
Water; Inky murk
within swims beings
Of such splendor
Poems; they are
with flashing blues and bleeding reds
The males with their elaborate
courtship dances and meek females

When the rains soften
while the full moon sniffs around
like a jaguar on the prowl
Comes men
and women too
with their nets of creativity
(Lest poems escape through the gaps between fingers of clasped hands  )
And glass jars
filled with
city water

Strangely clear-First Chlorinated- Then unchlorinated

To lure
To catch
To own
A poem of their own
To take 
a photo
with the jar in their hands
paste it
on a magazine page
between black ink
and bad news

with their elegant fins
the poems
look ornate
in city water transparency
but seldom
do they persist
their full lives
in such clarity

***


විහඟ ගී පැටලුන 
මහා විසල් තුරු වියන යට 
ඈත වනන්තරේ 
මෝසම් කඳුළු නිදහසේ  දොරේ ගලන 
අඳුරු හෙවනැලි 'තර 

කළු දිය පොකුණකි 

වරල් ගසා පීනන 
කවි 
අකුණු සැර  නිල් 
රුහුරු රක්ත 
සිතේ රටා මවන 
වරල් විහිදා උන් 
පෙම් රැඟුම් රඟන 


වැසි තුරල් නිශාවක 
පුන්සඳ ගොදුරු සොයන 
එති මිනිසුන් , ගැහැණුන්ද 
නිර්මානත්වයේ දැල් ද ගෙන 
අඳුරු දිය පීරා 
අල්ලා 
කව් 
දාගෙන ක්ලෝරීන් විස බාගෙට නැසූ 
පෑදි  දිය පිරි 
බෝතල් වලට 
හුස්ම යන්නට මත්තෙන් 
උන් 
රැගෙන යන්නට ආපහු 

පෙනේවි ලස්සනට  
පෑදී දියෙහි

කෙටි වේවි ආයුෂ 
පෑදී දියෙහි 



පලි : බස්සිගේ සටහන ප්‍රතිචාරයක් ඔස්සේ අපේ ඩුඩ් මගේ මාළු පිස්සුව ඇවිස්සුවා . මේක අහඹුවක් . මම මේ සතියේ ලියු කවියක් ඒ තේමාවට හොඳටම ගැලපුනා . මුලින් ලිව්වේ ඉංග්‍රීසි එක නිසාත් එහි ටිකක් වෙනස් රසයක් තියෙන නිසාත් , එයත් මෙහි ඇතුලත් කළා. 

මේ වීඩියෝවේ ඉන්නේ කාඩිනල් ටෙට්රා නම් මාළුවා ( කවි නෙමෙයි ). පොඩි මාලුවෙක් උනත් හරිම ලස්සනයි . නියෝන් ටෙට්රා වගේ , හැබැයි ඊට ටිකක් ලොකුයි , පාටයි . මුන් ඉන්නේ දකුණු ඇමරිකාවේ ඔරිනිගෝ , නිග්‍රෝ ගංගා වල . මේ ගංගා අන්තිමේදී ඇමසන් ගඟට වැටෙනවා . මුන්ව ටැංකිවල බෝ කරත් , ඇත්තටම තාමත් උන්ව ගංගා වලින් අල්ලලා අපනයනය කරනවා 

පපලි : මේ කවියට දාපු මාතෘකාව මට හිතට හරි නෑ  හැකිනම් මාතෘකාවක් යෝජනා කරන්න