22 October 2015

අවුරුදු අටයි මාස අටයි දවස් කීපයක් // Looking in to the rear view mirror




2007 මුල දවසක, ඊ මේල් කරපු කවියක් කියවපු අයෙක් මට "ඇයි ඔබ බ්ලොග් එකක්  පටන් ගන්නේ නැත්තේ කියලා" කිව්වේ , මේ ඊ මේල් කරදරෙන් බේරෙන්නද කියලා මම අදටත් දන්නේ නෑ  . 

ඒ වෙනකොට බ්ලොග් කියන්නේ මොනවද කියලා මම දැන ගෙන හිටියා . උපන් රටෙන් ඇවිත් පිටරටක පවුලත් එක්ක තනිවෙච්ච මම, ඒ සාංකාව නැති කර ගන්න ලංකාව ගැන කියවන්න පටන් ගත්තම , අහම්බෙන් කොත්තු සින්ඩිය හමු උනා . ඒ  වෙනකොට සිංහලෙන් ලියවෙච්ච බ්ලොග් තිබ්බද කියලා මම දන්නේ නෑ  . එදා ඉඳන් කියවපු  සමහර බ්ලොග් (london lanka and  drums , indi .ca  ) තාමත් ලියවෙනවා ........ හැබැයි මේ බ්ලොග් සමග  පොඩි දුරස් බවක් නම් මට දැනුනා කියලා දැන් හිතෙනවා  .

ඔන්න ඉතින් මමත් (වැඩිය හිතන්න යන්නේ නැතිව ) බ්ලොග් එකක් පටන් ගත්තා . මුලින්ම පළ කලේ චායාරූප  සහ ඒවාටම ගැලපෙන්න වාක්‍යයක් හෝ දෙකක් . පොඩියට පටන් ගත්ත පුරුද්දට මා ඇබ්බැහි උනා . වැඩේ හීනියට ඇදිලා  ගියා.  මුළු 2007 අවුරුද්දටම කොමෙන්ට්ස් 30යි . සමහර පෝස්ට්ස් බලල තියෙන්නෙත් 5 දෙනයි .
ඔහොම කාලේ ගතවෙනකොට , මා ,  හිතන බාසාව ගැන  ටිකක් දුරට හිතන්න ගත්තා . මම නිගමනයකට ආවා  මිනිස්සු හිතන බාසාවක් තියෙන බව ට හා  මම  ඉංග්‍රීසියෙන් ලිව්වත් හිතන්නේ සිංහලෙන් බවට . ටිකෙන් ටික කවි , කතා බ්ලොග් එකේ  පිරවුනා . මේ වෙනකොට මම අන්තිම පේලියත් කියවන්න අරන්  .  අන්තිම පේලියේ ප්‍රතිචාර රැහැන්  දිගේ ගිහින් ඒ හා සබැඳුනු බ්ලොග් කියවන්න පටන් ගත්තා. සමහර බ්ලොග්  කියවලා කොමෙන්ට් කළා , සමහර බ්ලොග් කියෙව්වා විතරයි . 
යුද්දේ ඉවර වෙලා රටක් කිරිබත් කාපු සතියේ , මගේ හිතේ කතාවක් හිරවෙලා බරවෙන්න  ගත්තා . මේක කියා ගන්න විදියක් මම හෙව්වා , සිංහලෙන් ෆොන්ට් එකක් බා ගෙන මම මේක ලිවුවා . පලවෙනි සිංහල සටහන .

කාලයාගේ ඇවෑමෙන්   අලුත් අලුත් බ්ලොග් මම හොයාගත්තා.  බ්ලොග් කියෙව්වා , බ්ලොග් චරිත අඳුනා ගත්තා , ඒ පිටි පස්සේ ඉන්න මිනිස්සුත් කියවන්න ගත්තා . 
අවුරුදු අටක් තිස්සේ මම කියවන (පුළුල් අර්ථයෙන්ම ) පරාසය පළල්  වෙලා , ඒ දවස් වල කියවපු ටැබූ , වෙදනා , මාරයා , චාමි වගේම ඔබා ගේ ලියවිල්ල හිත තවම ඉල්ලුවත් , මේ අවකාශයත් මුහුකුරා ගිහින් කියලා මම හිතනවා . වෙන් වෙන්ව නම් වශයෙන් සඳහන් නොකළත්  බොහෝ ලියවුනු,  ලියවෙන බ්ලොග් මම කියවනවා. දිගටම ලියා ගෙන ආපු අය  අලුතෙන් එකතු වෙච්ච අය කියවලා මම රස විඳිනවා . කළ  , නොකළ යුතු දේ පිලිබඳ ඉගෙනගන්නවා . අලුත් කොල්ලෝ කෙල්ලෝ හිතන විදිය ඉගෙන ගන්නවා .  කොච්චර වෙනස් වුනත් , අපේ ජීවිත අඩි 20000ක් උඩට ගිහින් බලපුවහම කොච්චර සමානද කියලා තහවුරු කර ගන්නවා.

කොටින්ම දවසකට විනාඩි 15ක් විස්සක් ලංකාවට ගිහින් "සෙට් " වෙනවා  (සෙට් වෙනවා කියන එකට වඩා ශාස්ත්‍රීය වචනයක් මට හිතට එන්නේ නෑ. එතන සියලු රස කැලතුන  බව , හර්දයාංගම බව තියෙනවා කියලා හිතෙනවා   )

බොරු කියන්න ඕනේ නෑ  , බොහෝ ලේඛකයන් වගේම , ප්‍රතිචාර , මා වත් උනන්දු කරවනවා . ඒත් බොහෝ විට කිසිම ප්‍රතිචාර නැතිවත් දිගටම ලියුවේ ඇයි  කියලා 
කියන ප්‍රශ්නෙත් හිතට නැගෙනවා(පහුගිය දවසක මම හෝටලයක ලොබියක , ගයන ගායකයෙක් දිහා බලා ගෙන උන්නා . ලොබියේ තුන් දෙනයි . උනුත් සින්දු අහන්නේ නෑ  . ඒත්  රස්සාව නිසා අර මනුස්සයා සින්දු කියනවා ...මමත් ඒ වගේද (රස්සාව වෙනුවට පුරුද්ද ) කියලා එවෙලේ මට හිතුනා )

අර ඉස්සර කකා ගේ බ්ලොග් එකේ තිබ්බා වගේ  " කියන්න කතාන්දර ගොඩක් තියෙන කතන්දර කාරයෙක් " ද මං  , කියලත් හිතෙනවා ...
හැබැයි මේ  pinchpoints ... ඒ කියන්නේ නාභි ලක්ෂය , නැත්නම් කෙනෙත්තුම් පාර ,.. හිටපු ගමන් පොල්ලෙන් ගැහුවා වගේ ඔලුවට එන දේ පාක් කරන තැනක් ... ඒකයි  විහිදුනු යථාර්තය මදකට පෑදී පෙනෙන කියලා ටැග්  ලයින් එක දැමුවේත්. 

මගේ පරණ දින පොතක මම ලියලා තියෙනවා , "මම මතක තියාගන්න චායාරූප ගනිමි, අමතක කරන්න ලියමි" කියලා . ඇත්ත. ලියලා මම හිත සැහැල්ලු කර ගන්නවා . 

මම මේ සටහන කිහිප විටක් මේ අවුරුද්දේ පෙබරවාරියේ සිට ලිය ලිය , පැත්තකින් තැබුවේ ... අවුරුදු අටක ලියවිල්ල ගැන උදම් ඇනීම නොහොබි යයි හිතුනු නිසා . දැනුදු මට එලෙසම සිතුනත්  මෙය අද පලකරන්නේ එක හේතුවකට . 


ඔබේ සුභ පැතුම් නොව , මගේ සටහන් ගැන වෙනස් විය යුතු, වැඩි දියුණු කර ගත යුතු ( කොටින්ම feedback ) යයි ඔබ හිතන දේ ගැන ප්‍රතිචාර දක්වන්නේ නම් මම ඉතා කැමැත්තෙමි .... 

අර කවුදෝ කෙනෙක් කිව්වා වගේම  ගල් නම් වඩා හොඳය, සෝඩා එපාය.


39 comments:

  1. දිගු කලක් බ්ලොග් ලෝකයේ නොසැලී සිටීමට ඔබට තිබු ධෛර්යයට මාගේ ප්‍රණාමය , නිතර කමෙන්ට් නොකලත් මම බ්ලොග් කරණයට [ඉවිසි අවධියේ සිටම ඔබේ හැම ලිපියක්ම කියවන කෙනෙක් මම . ඔබට ජය පතමි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . එහෙම කියලා දහිරියක් ඇතුව නෙමෙයි , ඉතින් සමහර දේවල් වලට ඇබ්බැහි උනාම ....

      Delete
  2. මං හිතන්නේ ඔබට විශේෂයෙන්ම උපහාසාත්මක ලියවිල්ලේ මනා හැකියාවක් තියෙනවා කියායි. මා ඉතා කැමති වුනේ පිස්සු ලාබයි සීරිස් එකටයි.

    මගේ බ්ලොග් ලිවිල්ල අහම්බෙන් ඇරඹුනේ 2005 අප්‍රියෙල්වල දී යි. අපි හැමදෙනා ම ලියන්නේ අපට එදාට හිතෙන දේ. ඒවා "රටකජු කඩල ඉන්ටවල්වල කියවිය යුතු" දේ වෙන්න පුළුවන්. නමුත් වැදගත් දේ ඔබත් කියා ඇති පරිදි ඒ දේ ලිව්වාට පසු හිතට දැනෙන සහනයයි!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට ..

      මමත් සැම විට උත්සාහ කරන්නේ අවම වචන ප්‍රමාණය භාවිතා කරමින් ලියන්න . ඒ කම්මැලි කම නිසා . නමුත් බොහෝ විට මට ඇති ප්‍රශ්නය උචිතම සිංහල වචනය පාවිච්චි කිරීම . ඒ වගේම ලියවිල්ලේ සැහැල්ලු ව පවත්වා ගෙන යාම .

      පිස්සු ලාබයි සීරීස් එක ආයේ පණ දෙන්න අදහසක් තියෙනවා .. බලමු .

      Delete
  3. ගොඩක් කලින් ඉඳලා ලියන කෙනෙක් නේ? ඔයාගේ බ්ලොග් එක කොහොම හොයාගත්තද දන්නේ නෑ. ඒත් කෙටියෙන්, රසවත්ව, හිතට එන දේවල් ලියන කෙනෙක් විදියට ඔයාව හිතේ තියාගත්තා.

    මට නම් අමතක කරන්ට ලියන්ට බෑ. ලිවීම අමතක වෙන හන්දා...:)

    තව දුර ගමනකට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      Delete
  4. වැටෙන හැම පෝස්ට් එකක්ම කියවන බ්ලොග් අතරෙන් එකක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම් . ඔබව මම කියවලා තියෙන්නේ එක එක චරිත ගොඩක එකතුවක් හැටියට . ඇත්තට ඇයි දැන් නොලියන්නේ ?

      Delete
  5. මමනම් සිංහල බ්ලොග් ගැන දැනගෙන ලොකු කාලයක් නැහැ. ඉංග්‍රීසි බ්ලොග් කිහිපයක් ටික කාලෙක ඉඳලා කියෙවුවත් ඒ ලංකාවට සම්බන්ධ ඒවා නෙමෙයි. හිටපු ගමන් පොල්ලෙන් ගැහුවා වගේ ඔලුවට එන දේ පාක් කරන තැනක ආයේ වෙනස් කරන්න දෙයක් නැහැ. එහෙම ඔළුවට එන්නේ හොඳම එක තමයි. අවුරුදු දහය පහළොව කාලේ (දැනුත් කම්මැලියෙක් වුනත් ඊටත් වඩා මහා කම්මැලියෙක් වුනු කාලෙක) ඔය කම්මැලිකම ගැන එන විචේචන වලට මගේ ප්‍රතිචාරය වුනේ මේක.

    "ලෝකයේ තියෙන වටිනා නිර්මාණ ගොඩක් හොයා ගෙන තියෙන්නේ කම්මැලිකම නිසා. වාහන හොයාගෙන තියෙන්නේ පයින් යන්න කම්මැලි කමට. කෑම උයන එක හොයාගෙන තියෙන්නේ කෑම හපන්න කම්මැලි කමට. වතුර මෝටර් හොයාගෙන තියෙන්නේ ළිඳෙන් වතුර අදින්න කම්මැලි කමට. බල්බ් (විදුලි බලය) හොයාගෙන තියෙන්නේ ලාම්පු පත්තු කරන්න කම්මැලි කමට. මිනිස්සුන්ගෙ කම්මැලිකම නොතිබුනානම් තාමත් ගල් යුගේ!"

    ඒ දවස්වල ඕව කියල වැඩිහිටියන්ගෙන් බැනුම් ඇහුව. දැන් හිතල බැලුවහම කතාවේ ඇත්තකුත් තියෙනවා. කම්මැලිකම නිසා ඇතැම් දේවල් කාර්යක්ෂම වෙනවා. ලොකු දෙයක් කෙටියෙන් කියන්න පුළුවන් වීම ඔබේ දක්ෂතාවය. මමනම් ඒ ආකෘතියට ගොඩක් කැමතියි. (වෙන අයගේ වෙනස් ආකෘති වලටත් කැමතියි. අඩි 20000ක් උඩදී සමාන බව ඇත්ත වුනත් ඒ එක එක්කෙනාගේ අනන්‍යතාවය.) හිතන්න දේවල් ඉතුරු කළහම එන ගතිය හැමදේම කිවුවහම එන්නේ නැහැ. මා කියවූ ඔබේ මෑතකාලීන පොස්ට් වලින් රුපසිංහගේ රූපපෙට්ටියේ අන්තිමට තිබුණු මත්තල කතාව අවශ්‍ය නෑ කියලා වෙනකෙනෙක් කියපුදේ මටත් හිතුණා. ඒත් සමහර වෙලාවට context එක නොදැන සිටියානම් එහෙම හිතෙන එකක් නැහැ. මට හිතෙන හැටියටනම් ඔබේ සටහන් nicely packaged. කමෙන්ට්ස් දමන්නේ නැත්තේ පොල්ලෙන් ගැහුවා වගේ ඔලුවට කමෙන්ට් එන්නේ නැති නිසා මිසක් රසේ අඩුවක් නිසා නෙමෙයි.

    ඔහොම යං!

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ " nicely packaged " කෑල්ල හිතට වැදුනා . ඔබේ සටහනට ස්තුතියි . ඔය බ්ලොග් පෝස්ට් එකක දිග ගැන එක සැරයක් ඩුඩ් කිව්වා "short enough to be interesting . Long enough to cover the subject " කියලා

      Delete
  6. පින්ච් පොයිනට් වලින් මම වැඩියෙන්ම සතුටු උනේ උපහාසය දැකලා.. ප්‍රතිචාර අඩු උනාට කරන්න දෙයක් නැහැ. මාතලං කියනව වගේ සහජීවනය තිබිය යුතුයි. කොච්චර ලියුවත් හුදකලාවෙන් මිදෙන්න බැහැ..

    ජය වේවා. ජේපී..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ප්‍රතිචාර ගැන එච්චරම අවුලක් නෑ . මම සටහනේ කිව්වා වගේ මේක මට "සෙට් වෙනවා " වගේ ආශ්වාදයක් ගෙන දෙනවා ... උපහාසය නැතිව සෙට් වීම කුමට නේ ?

      Delete
  7. අවුරුදු අටට සුබපැතුම් ජේපී!
    උඹේ උපහාසය තමයි මටත් අල්ලල ගියේ. වැඩියෙන්ම අර ගොක්කොල සිරීගෙ කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .
      සිරී ගිය දුරක් නේ

      Delete
  8. ජේ පි කියල බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ පෝස්ට් එකක් අප්ඩේට් වෙද්දිම මගෙ ඔළුවට එන්නෙ ආ මේ අර පොල්ලෙං ගහන්නැහෙ ෂෝට් ඇන්ඩ් ස්වීට් ලියන මනුස්සය නේද කියල.. කමේටු සමහර ඒවට නැතුව ඇති මං කීවෙ මං කියවනව ඒත් කමෙන්ටු නොදා ඉන්න ඒව. ඒ වෙලාවක් නැති කමට ඒත් ආසාව හින්ද ඇවිත් කියවල යන අවස්තා. පුලුවං වෙලාවට අනිවා මොනා හරි කියල තමා යන්නෙ...

    මං හිතන්නෙ ජේ ගෙ අනන්‍යතාවය තමයි කෙටි සහ සරල ඒත් අර තද පොලු පාර...
    ආව වගේම නොවැටී දිගටම ලියමු ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනන්‍යතාවයකුත් තියෙනවනේ බලාගෙන ගියාම :) . ස්තුතියි ප්‍රතිචාරයට . දිගටම එන්න

      Delete
  9. සුභ පැතුම් යමු ඉස්සරහටම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට . දිගටම එන්න

      Delete
  10. සුභ පතන්න එපා කිව්වට සුභ පතන්නම වෙනව. උණුසුම් සුභ පැතුම්. ඉඳහිට කමෙන්ටුවක් දෙකක් විතරක් දාල තිබ්බට මගේ බ්ලොග් ලිස්ට් එකට දාගෙන ඉඩ ලැබුණු හැම වෙලාවකම මම යන එන බ්ලොග් එකක් මේකත්. ගොඩක් වෙලාවට මට කමෙන්ට් කරන්න වෙන්නැත්තෙ ඔබ අවශ්‍ය සියළුම දේ තවත් කියන්න දෙයක් ඉතුරු නොවෙන්නම කියන නිසා වෙන්න ඕන.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට .දිගටම එන්න

      Delete
  11. උනුසුම් සුබ පැතුම් ජේ පී. කාලෙක ඉඳල ආසාවෙන් කියවන්නෙ. කමෙන්ටුවක් දැම්මෙ නැතත් කියවනවා. සමහර වෙලාවට මාත් දන්නවා කමෙන්ටු නැති උනාට ඇවිත් යනවග. ඉදිරි අනාගතයට දිරිය ශක්තිය නිබඳවම ලැබේවා! J P.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දි . අපි පරණ යාළුවො නේද එහෙම බලපුවහම . සමාවෙන්න ඇතැම් විට ඇවිත් නොකියා ගියාට . ඊළඟ පෝස්ට් එක ඇත්තටම ඒ ගැනත් එක්ක :)

      Delete
  12. මම ඔබව 2007 ඉඳන් කියවන කෙනෙක්. ලන්ඩන් ලංකා ඩ්‍රම්ස්, ඉන්දි, කළු මල්ලි, ලේඩි ඩිවයින් වගේම ඒ කාලේ කොත්තු වල හමුවෙච්ච ඔබේ බ්ලොගත් දිගටම මම කියෙව්වා. ( කළු මල්ලි මිය ගියා කියලා දන්නවා ඇතිනේ) ලේඩි ඩිවයින් දැන් ලියන්නේ නෑ ඒ නමින්. වෙන මොකක්ද එකක් ලියනවා අපායට කැලැන්ඩර් ගහනවා වගේ. එල් එල් ඩී ත් ඉස්සර වගේ අපිට කතා කියන්නේ නෑ. ඔහුගේත් පියාගේ අසනීප තත්වයන් හා කෙල්ලො දෙන්නා දැන් ලොකු මහත් වෙලා හෙමනේ. ඉන්දි නම් ඉස්සර වගේම වෙනසක් කරන්න සෑහෙන්න මහන්සි වෙනවා. එක එක කාලෙට මොකක් හරි අලුත් වැඩක් කරනවා. මොනවා වුනත් කොත්තුත් බලනවා.
    ඊගාවට අපේ පින්ච් පොයින්ට් බොහොම සාන්ත විදියට ෆොටෝ එකක් හෙම දාගෙන ඖරුදු ගාණක් ඉන්නවා. හැම සටහනම කියවන්න බැරි වුනත් නිතර කියවනවා. ඒත් කොමන්ට් එකක් දාන්න ඕනෙ කියලා හිතෙන්නේ නෑ. මොකද ඔබ ලියන්නේ කොමන්ට් වලට නෙමෙන නිසා. ඊටත් වඩා ගොඩක් වෙලාවට ඔබ අපිව හිස් කරනවා වචන දෙකින් තුනින්. මොනවත් කියාගන්න නෑ අන්තිමට. ;)
    මේ සටහන් දිගටම ලියවෙන්න ඕනේ. අපි නොලීවට.
    ඔබේ ඒ කාලේ ඉඳන් රසිකයෙක් වෙන මට මේක කියන්න වෙන අවස්ථාවක් එන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . මම දැනන් හිටියේ ඔබ එතරම් කාලේක ඉඳන් pinchpoint කියවනවා කියලා . මම දාපු මුල්ම පින්තුරේට ඩොමිනික් සන්සෝනි ප්‍රතිචාරයක් දැම්මා මට මතකයි .

      හැබැයි කොත්තු එකේ ඉංග්‍රීසියෙන් ලියපු අයත් , ලාංකික ම තමා . අපි බොහෝවිට ඔවුන් ව අමතක කලාට .

      ඔබේ මේ ප්‍රතිචාරය වටිනවා . ගලුත් තිබ්බා නම් මරු :)

      මම තව කල් ලියාවී . ඇබ්බැහිය එතරම්ම .

      දිගටම එන්න

      Delete
  13. ගොඩක් උන් ගොඩක් දේ කියලා...
    උඹට ඕන දේ උඹ ලියපන්...
    එක එකාට ඕන ඒවා ලිව්වොත් උඹ එතන නෑ..
    අපිට ඕන උඹ මිසක් වෙන එකෙක් නෙමෙයි...
    මොකෝ උඹේ හැදෙන්න දෙයක් නෑ...
    ලියන හැම දේම වල්ලා පට්ට...
    බෝරින් නැහැ...
    උඹේ තියෙනවා ඕනම මාධ්‍යයක දාන්න පුළුවන් ඉස්ටෑන්ඩොට් එකක්...
    ඒකත් එක්ක තියෙන දේශපාලන උත්ප්‍රාසය ඉස්තරන්..
    මයෙ අම්මපා සත්තරන්...

    මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි...

    සුබ අනාගතයක්..... :)

    ReplyDelete
    Replies
    1. මාතලන් ස්තුතියි

      ඔබේ කෙලින් කතාව ගැන දනිමි

      උඹ කියනදේ හරි කියලා මමත් හිතනවා .මම මේ පොතක් කියවලා ඉවර කළා විතරයි . එකේ තියෙන්නේ තමන් වෙනුවෙන් ලියන්නේ කොහොමද කියලා . ඒත් මම හිතන්නේ බ්ලොග් පෝස්ට් කියන්නෙත් වෙනම genre එකක් . එකේ බැලන්ස් එක අල්ල ගන්න ඕනේ .
      සුභ අනාගතයක් කියන්න එපා , හිට්ලර් ගිහින්ලු අන්න චැප්ලින් ඇවිත් ලු

      Delete
  14. ජාලියගෙ බ්ලොගට මම එන්න අරන් සෑහෙන කාලයක් ගතවුනා මම හිතන්නේ. මතකද මම මුලින් කිව්වා මට තියෙන එක හිතේ අමාරුවක් මේ වගේ බ්ලොග් එකක් දකින කට්ටිය අඩුවීමයි කියලා? නමුත් අද ඒ තත්වය වෙනස්.

    ජාලිය, වගේම බ්ලොග් එකත් වෙනස්. ජාලිය කරන වැඩත් වෙනස්, හිතන හැටිත් වෙනස්, දාන පින්තූරත් වෙනස්. කොටින්ම බ්ලොග් රෝලත් වෙනස්.

    ඒ නිසා උඹ මෙහෙම වෙයං, අරෙහෙම වෙයං කියන එක ගොංම ගොං කතාවක්. සෝඩා විස්කි වගේ වෙලා හරියන්නෙත් නෑ, විස්කි සෝඩාවගේ වෙලා හරියන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඩුඩ් එක්තරා අවධියක , ඔබ ප්‍රතිචාර මෙහි හැරවුම් ලක්ෂයක් (ද මන්දා ) සටහන් කළා . ස්තුතියි

      ඔබ කියන දේ මට තේරෙනවා . නමුත් අන්තර් ගතය මට ලේඛකයාට අවැසි විදියටත් , පැකේජින් එක කියවන්නා ඉල්ලන විදියටත් විය යුතුදෝ කියා යි මට දැන ගන්න ඕනේ වුනේ. මේ ප්‍රශ්නය මුලිකව තිබ්බේ පැකේජින් ගැනයි

      මම සෝඩා ලෑස්ති කරන් බලන් හිටියා ... ගල් නෑ :)

      Delete
    2. //නමුත් අන්තර් ගතය මට ලේඛකයාට අවැසි විදියටත් , පැකේජින් එක කියවන්නා ඉල්ලන විදියටත් විය යුතුදෝ කියා යි මට දැන ගන්න ඕනේ වුනේ. //

      මේක විකාර කතාවක්.. තමන්ට කිව යුතු දේයි කිව යුත්තේ..අපි කරන්න් මාර්කටින් නෙමෙය නේ..

      Delete
    3. දේශා
      මම හිතන්නේ අපි කරන දේ තුල අයිඩියා මාකටිනුත් තියෙනවා කියලා
      කොමියුනිකේෂන් වල දි එයත් වැදගත් කියා සිතමි
      මේ ගැන හොඳම උදාහරනය මම දකින්නේ ජාතක කතා බයිබල් කතා වල

      Delete
  15. නිතර කොමෙන්ට් නොකලට හැමදාම වගේ කියවනවා... ඔබ වගේ සිම්පල් විදියට හරි පොයින්ට් එකට ලියන්න ඕනේ කියල හිතිලා තියෙන වාර අනන්තයි.. නමුත් එහෙම ලියන්න මම තාම දියුණු වෙලා මදි කියල හිතෙනවා..
    ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      Delete
  16. //අවුරුදු අටක ලියවිල්ල ගැන උදම් ඇනීම නොහොබි යයි හිතුනු නිසා//

    සෙද්ද.. ඇයි උදම් ඇනීම නොහොබින්නෙ??
    නොනැවතී ලිීවීම, අවුරුදු අටක්???
    හිතනවද හැම බ්ලොගර් කෙනෙක්ටම ලේසියි කියල???

    ReplyDelete
    Replies
    1. මට හිතිච්ච විදිය සෑම්
      සෙලිබ්‍රේට් කරන්න සෝඩා තියන් බලන් හිටියා ගල් ලැබේදෝ කියා

      Delete
    2. ඉයන් ගෙන් ඉල්ලුවා නම් කේස් එකක්ම හම්බ වෙයි... මෙහේ ආවාම සෙට් වෙමු...

      Delete
  17. අඩි විසිදාහක් උඩට ගිහින් බලපුවාම අපි එක වගෙයි කියල ලිව්වාට මම බොහොම කැමතියි. ඒ බව තේරුනෙත් ඔබ ඉවසිල්ලෙන් ලියපු නිසාත් අපි ලියන දේ කියවන්න එකතු වුණ නිසාත් නේද? යමක් ලිව්වාම මේක JP එහෙමත් කියවාවිනේ කියල හිතෙනවා .ඔහොම යං මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. ඔව් මට එහෙම හිතුනේ ඔබ සියලු දෙනා කියවීමෙන් ම තමයි.
      ඔබටත් මටත් බොහෝ දෙනෙකුටත් තියෙන්නේ එකම ප්‍රශ්ණ එකම හීන...මම ඔබ කියු විදියේ බලපෑමක් කරනවා යයි මම නිකමටවත් හිතුවේ නෑ. ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
  18. අවුරුදු අටක් ලියපු එකම මදැයි...
    ජය වේවා...!!!

    ReplyDelete

Have commented