07 October 2015

ගෝල්පීස් නොස්ටල්ජියා

අපි කෝර්නල්ස්  සුපර් මාකට් එක ඉස්සරහ බස් හෝල්ට් එකේ හිට ගෙන ඉන්නවා මතකයි . ඒත්  එතනට ආපු හැටි නම් හරියටම මතක නෑ . එදා ටිකක් විශේෂ දවසක්... මොකද , අප්පච්චියි මායි  විතරයි මේ ගමන යන්නේ  .. මලයා පොඩි නිසා මුළු පවුල් පිටින් බස් එකේ යාම ටිකක් ලොකු ව්‍යාපෘතියක් . අම්මයි අත්තම්මයි  ගෙදර නතර වුනා .. කොහොමත් ගෑනු එක්ක ඔය ගමන යන්න වුනා නම් එදා ඒ ගමන යන්න වෙන්නේ රෑ වෙලා තමා ....අම්මා මගේ කොන්ඩෙත්  පැත්තට පීරලා , පුයර ටිකකුත් මූණේ  උලලා , කමිසේත් යට කළා ඉලාස්ටික් ඉණැති කලිසම් කොටේට .... ගෙදරින් එලියට බැස්ස ගමන් මම අතින් කොණ්ඩය අවුල් කරගත්තා මට ඕනේ විදියට . 

කෝනල්ස් එකේ මිදුලේ කාර් දෙකක් තියෙන්න ඇති වැඩිම . එකෙනුත් එකක් මොරිස් මයිනර් ටැක්සියක් . අප්පච්චි ඒ දිහා බලලා මා දිහා බැලුවා .මේක ඇතුලේ තියෙන දේ ගැන මට මහා කුතුහලයක් ආවත් , අප්පච්චිගේ බැල්මෙන් පස්සේ ඒ ගැන අහන එක මම අමතක කළා .

රතු පාටට බැබලි බැබලි ඔන්න එනවා බස් එක .. ඩබල් ඩෙකර් , තට්ටුම දෙකයි ... "යමු පුතේ උඩට " අප්පච්චි මගේ හිත කියවනවා ..වීදුරුවක් අයිනේ ඉඳගෙන මම පාර බලාගෙන යනවා . වීදුරුවෙන් එන හුලං  පාරට මම ඇස් දෙක ඇර  ගෙන   ඉන්නේ අමාරුවෙන් . 

දැන් නම් ගොල්පීස් නොගියත් කමක් නෑ . මේකෙම රවුමක්  දෙකක් ගියානම් ඇති .

එතනින් පස්සේ memory lapse එකක් , මතක පථය පොඩ්ඩක් මැකිලා ගිහින් . ... ආයේමත්  මතකෙට එන්නේ මම සරුංගලයක් දිහා බලාගෙන ඉන්නවා ඇලරික්ස් අයිස්ක්‍රීම් එකක් කකා ... අයිස්ක්‍රීම් එක වේගයෙන් දියවෙනවා ... අත දිගේ බේරෙනවා . මම ඒක දියවෙන්න කලින් කොහොම හරි පුළුවන් තරමක් කන්න වලිකනවා . අයිස්ක්‍රීම් ගුලියක් මම ගිලිනවා .. කොහේදෝ නුපුරුදු නිලයක් සංවේදී වෙනවා ..උගුර දිගේ බඩට යනකන් හීතල වේගෙන යනවා . 

සරුංගල් කාරක් අපි ලඟට එනවා . "සෑර් බබාට සරුංගලයක් ගමු " ඔහු යෝජනා කරනවා . ඔහුගේ අතේ නූල් කඩා ගෙන අහසේ ඈතට ඈතට යන්න නයි , මොනරු , මාළුවෝ , කොම්බුවෝ , වවුලෝ දඟලනවා ...

"කීයද අර පොඩි එක? " . පිළිතුර මට ඇහෙන්නේ නෑ  . අප්පච්චි සාක්කුවේ සබ්බ සකල වස්තුව එලියට අරන් ගණන් කරනවා ..  "එපා , දැන් කළුවර වෙන්නත් ලඟයි නේ "... සරුංගල් කාරයත් මද හිනාවක් පානවා  . ඒ හිනාවේ අවඥාවක් නොතිබූ බවත් , සියුම් අනුකම්පා සහගත බවක් , ප්‍රශ්නය තේරුණු බවක් තිබු බවත් මට දැන් හිතෙනවා .

"බබා පොඩ්ඩක් නූල  අල්ලන් ඉන්න " ඔහු මට රටක් රාජ්‍යයක් බාරදෙන්න යනවා 

" පුතේ අපි ගෙදර ගිහින් සරුංගලයක් හදමු ....ඔය හුලන් පෙත්තක් දෙනවා අපිට " අප්පච්චි මට තවත් පාඩමක් නොකියා කියා දෙනවා . එදා නොකීවත් අවුරුදු ගානකට පස්සේ එය වචන වලට පෙරලන්නෙත් ඔහු 
"there is  no  free  lunch "

අවුරුදු තිහකට විතර පස්සේ , පහු ගිය දිනෙක ගාලු මුවදොර පිටියේ ඉඳගෙන මම කවියක් ලියනවා .. ගෝල් පීස් වෙනස් වෙලා . එන මිනිස්සු ...වෙරළ ...එහා පැත්තෙන්  ඉදි වෙන වැලිපරය .. පෝට්  සිටිය ...ඔක්කොම වෙනස් ... ඒත් ....


ගාලු මුවදොර 
රළ නගයි තවම 
හුලං  හමන අතට 
සරුංගලේ බිම දිගේ ඇද ගෙන 
දුවපු 
අන්නාසි , ඉස්සෝ වඩේ 
දිහා බලන් 
කෙළ  ගිල්ල 
කොලුවා 
හිඳී තවමත් 
පිටිය මැද 
ඒත්  රැල්ල පාගන්න නම් 
දැන් බැරුවා 


පලි : අපේ අප්පච්චි දැන් ජීවතුන් අතර නැත . ඔහු මිය ගිය වයසට මම වේගයෙන් ලංවෙමින් සිටිමි . අපි සිතුවත් නැතත් , අපේ පියවරු අපේ උතුරු තරු යයි මම සිතමි . දිනක කෙළ වෙන විට උතුර සොයා , දිවි මගේ  මග සලකුණු කරගන්නේ ඒ උතුරු තරුව දෙස බලාගෙනය . තව වසර කීපයකින් මම අපේ අප්පච්චි මිය යන විට වයසට වඩා වියපත් වෙනු ඇත  ..එය මට අමුතු සිතුවිලි ඇති කරයි . විටෙක මා බිය කරයි , විටෙක මා දෙපයට මහා ශක්තියක් දේ ... එදාට හිතෙන දේ එදාට ලියන්නම් 

42 comments:

  1. සංවේදී සටහනක්. ඕකෙම අනිත් එක තමයි දරුවන් තුලින් අපේ ළමා කාලය පේන එක.

    ReplyDelete
    Replies
    1. ඉකොනො ස්තූතියි
      නෝ ෆ්‍රි ලන්ච් ගැන ඉකොනොමික් කියවීම කුමක්දැයි සිතමි😊

      Delete
    2. ඔබේ ඉංග්‍රීසි භාවිතය වගේම ලස්සනයි සිංහල භාවිතයත්. ඔය ලිව්වේ මා ගැනද කියල හිතෙනවා මල්ලි.
      අපි හරි ලස්සන යුගයක අවසානයේ හිටිය මිනිස්සු හැටියට, සමාජ විපරියාසයේ කන්දක් පහු කරපු මිනිස්සු හැටියට, ලොකු වපසරියක් දකින්න පුළුවන්. අපි හරි වාසනාවන්තයි. තවම මම පුංචි ජාලිය ව කියවනවා....
      Vajira

      Delete
  2. Aththenma harima sanwediyi!Meya mageth jeewithayata sambandayayi matath hangenawa!

    ReplyDelete
    Replies
    1. සරත් ස්තුතියි

      Delete
    2. ඔබත් රැල්ල පාගන්න දැන් බයයිද?

      Delete
  3. දැනෙන්න වැදෙන්න ලියලා තියෙනවා...... ලස්සනයි...........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      Delete
  4. ක්‍රීම් සෝඩා බිව්වේ නැද්ද? මගේ නම් එක ප්‍රාර්ථනය ඒකයි ගමනක් යද්දී!

    ReplyDelete
    Replies
    1. මම නම් නෙක්ටෝ සහ අයිස් ක්‍රීම් හැන්දක් දාපු මික්ස් ෆෘට්

      Delete
  5. මගේ පියා සමග මේ වගේ ගොස්, ඉල්ලන්නවත් දුකේ බැරුව (පියා අතේ මුදල් නැති බව දන්න නිසා) හිතෙන වැලපී පැමිණි අවස්ථා මතක්වුණා. මට නොලැබුණු බොහෝ දේ මම මගේ දරුවන්ට ලබාදුන්නා. තවමත් ලබාදෙනවා. ඔවුන්ට කියා දුන්නා මට ඒවා ලබාගන්න වාසනාවක් නොතිබුන බව.

    තාත්තා.....................පරම්පරාවේ නායකයා.

    ReplyDelete
    Replies
    1. මෙයට දිගු පිලිතුරක් ලිවිය යුතුයි. හවස ලියන්නම්. හවස් වෙලා ආපහු මේ පැත්තේ එන්න විචාරක තුමාට ආරාධනා කරනවා

      දැනට සින්දුවක කෑල්ලක්

      අපි වෙනුවෙන් සංසාරේ වන්දනාවේ ... අප්පච්චි

      Delete
    2. මට හිතෙනවා හැත්තෑ හතෙන් පස්සේ මුලින්ම මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ අපේ අප්පච්චිලා . ඔවුන්ගේ අප්පච්චිලාගේ ලෝකේ උවමනාවන් හා වත්කම ගැට ගහන්න එච්චර අමාරු වුනේ නෑ කියලයි මම හිතන්නේ . විවෘත ආර්ථිකයෙන් දොර ඇරුනාම ඒ දිගේ ආපු නොයෙක් සම්පත් වලින් පිරුණු ලෝකයක ඔවුන් එන්න එන්න පුංචි මිනිස්සු වුනා .

      නමුත් ඔබ කියන දේ මේ දෙයත් එක්ක ගැලපෙනවා අඩුයි වෙන්න ඇති . හැබැයි විචාරක තුමෝ , මගේ ජීවිතේ ඊට වඩා බොහෝ වෙනස් වුනත් , ඔහුට ඒ දැනිච්ච දේ ඉඳලා හිටලා මටත් දැනෙනවා . ඒ ලෝක ධර්මතාවයක්මද කියලත් හිතෙනවා . නමුත් එහෙම අඩුපාඩු තිබිලත් ඔහු තම ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය කෙලින් තියාගත්තේ කොහොමද කියලානම් පුදුම හිතෙනවා

      Delete
  6. අප්පච්චිව මතක් උනා jp. මේ මාසෙට අවුරුදු 14ක් අප්පච්චි නැති වෙලා. මගෙ හැමදේටම ලඟින් හිටිය විදිහ මතක් වෙද්දි හැමවෙලේම දැනෙනවා මං තනි වෙලා කියල.

    ReplyDelete
    Replies
    1. මගේ කතාවේ අවුරුදු විසි පහක් ... හැබැයි වෙලාවක ලඟින්ම ඉන්නවා වගේ දැනෙනවා

      Delete
  7. ඔබේ ඉංග්‍රීසි භාවිතය වගේම ලස්සනයි සිංහල භාවිතයත්. ඔය ලිව්වේ මා ගැනද කියල හිතෙනවා මල්ලි.
    අපි හරි ලස්සන යුගයක අවසානයේ හිටිය මිනිස්සු හැටියට, සමාජ විපරියාසයේ කන්දක් පහු කරපු මිනිස්සු හැටියට, ලොකු වපසරියක් දකින්න පුළුවන්. අපි හරි වාසනාවන්තයි. තවම මම පුංචි ජාලිය ව කියවනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ . මේක අපි හැමෝගෙම කතාව වගේ

      Delete
  8. මට දැන් වයස 35යි. මම හිතන්නේ කෝනල්ස් ගැන දන්න අවසාන පරම්පරාව අපි වෙන්න ඕනේ. අපි පොඩි කාලෙම මම හිතන්නේ කෝනල්ස් වැහිලා ගියා.
    මම පොඩි කාලේ කොල්ලුපිටියෙ මුහන්දිරම් පාරේ හිටියා. කෝනල්ස්, ඔරිජිනල් පෙරේරා ඇන්ඩ් සන්ස් එක, නවම් ලමා පෙරහැරේ ගස් ලබු ගෙඩියේ ගහලා කඩදාසි මල් ඉති අරන් ගිය සොදුරු අතීතය තාමත් මතකයි

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්න ඇති . තව සුපර් මාකට් එකක් තිබ්බා බෑන් බෑන් කියලා , හැබැයි කොහෙද කියලා මතක නෑ . අර අරූ මේ මතක අවුස්සගෙන ඇවිල්ලා මගදීම වැඩේ අත ඇරලා දැම්මනේ

      Delete
  9. දන්නවැයි ජේපී පොඩි කාලෙ අපි ළිං ගෙම්බො වගේ පොත් වලිං කියවපු දෙයක් තමයි ඒත් පොතයි ඇත්තයි සෑහෙන පරතරයකින් තියෙන දේවල් බව හිතෙද්දි අර මැවිල තිබ්බ සමහර දේ කුඩුපට්ටං වුනේ හිතාගන්නවත් බැරි විදියට. රබර් කිරි කපල ජිවත් විච්ච ඒ සල්ලි වලිං අපිට කන්න අදින්න දුන්න මනුස්සයෙක්ට කොළොං පුරේ ගැන මොන අයිඩියාවක් තිබ්බද දන්නෑ. ඒත් මටත් වැඩිය මනුස්සය කොළඹ දන්නව. සරුංගලයක් හදාගන්නෙ කෝමද සෙල්ලං පිස්තෝල වෙනුවට උණ බට තුවක්කු හදාගන්නෙ කෝමද අරුමෝසං සෙල්ලං බඩු වෙනුවට ආදේශක වලිං සෑහෙන්නෙ කොහොමද කියල ඉගැන්නුවෙ ඒ මනුස්සය. ඒ වගෙම අදටත් ජේපී කීව "there is no free lunch " තමං දන්න විදියට තමන්නෙ විදියට ඉගැන්නුවෙත් ඒ මනුස්සය. අදටත් ඒ ගිල්ලපු ගල් ඉන්න වමාරන්න බැරිකමක් තියෙන්නෙ. ඒක බැරිකමකට වඩා අකමැත්තක්
    අපූරු සටහනක් ජේ

    ReplyDelete
    Replies
    1. මහේෂ් . මම මේ සටහන ලිව්වේ මගේ හිතේ තිබුණු මොකක්ද දෙයක් එලියට දාගන්න . හිත සැහැල්ලු කර ගන්න . ඒත් එහෙම කරන්න ගිහින් මම බොහෝ දෙනෙකුගේ හිත් වල බරක් එල්ලුවාද කියලා හිතෙනවා .මම විචාරකට කිව්වා වගේ ඒ මිනිස්සු පුංචි මිනිස්සු වුනාට ඇතුලේ තිබ්බ ආත්ම අභිමානය පුදුම සහගතයි

      Delete
  10. ඔබේ මේ අකුරු පෙළ මාවත් අවුරුදු තිහක තිස් පහක අතීතයකට අරගෙන ගියා හරිම සුන්දර විදියට , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබ රසවින්දා නම් , ඒ මගේ සතුටයි

      Delete
  11. Replies
    1. එහෙනම් එලම තමා

      Delete
  12. මේකට උත්තර දෙන්න බැහැ වගේ උනත් යන්න හිතෙන්නෙත් නැහැ මුකුත් නොකියා.

    අර 'ගෑනු එක්ක යන්න හිටියානම්, හවස් වෙනකල් යන්න ලැබෙන්නේ නැහැ' කියන කොටසට මගේ බලවත් කෝපය! පෙනේද පොඩි එකා කාලේ ඉඳලම හිතිලා තියෙන විදිහ!!

    ඔය ගෝල්පීස් කියල එකක් මම දැක්කේ ඉස්කෝලෙන් අට වසරේදී ආපු ට්‍රිප් එකක් නිසා. එතකල් දැකල තිබ්බේ මුහුදු වෙරළවල් විතරයි. ඒවත් ඉස්කෝලේ මැචස් වලට ඇවිත් මුහුද අද්දර ඉස්කෝලවල ඩෙස් බංකු වල නිදාගත්ත නිසා. ඔය වගේ මතකයක් තියෙනවා මට නුවර කාගිල්ස් එකේ චොක්ලට් රාක්කයක් එක්ක. මම මේ හිතන්නේ මේ වගේ මතකයන් ගොඩක් වෙලාවට තාත්තලා එක්කම පටලවෙන්නේ කොහොමද කියල?

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා ... පොඩි උන් නොදන්නා කමට කියන ඒවා නේ .... පස්සේ බැන්දට පස්සේ තමා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවන් උනේ :)

      මට ඔය වගේ මතකයක් තියෙන්නේ , ජාතික ක්‍රීඩා උළෙලටද කොහෙද ගිහින් ගාල්ලේ ඉස්කෝලෙක නිදා ගත්ත එකක් .තව අනුරාධපුරේ හොස්ටල් එකක හිටපු එකක් ....

      Delete
  13. අසුහතරේ ජනවාරි පළවෙනිදා තාත්තයි අම්මයි අයියයි එක්ක කොළඹ ආපු ගමන මතක් උනා.. මවුන්මේරි ක්වාර්ටර්ස්, ආන්ටි ඩුලිට්ල්, මරදානේ කිරිහල, මුලින්ම දැක්ක ආටා..ඩබල් ඩෙකර්..ගොල්පීස්..
    අද තාත්තා වයසයි.. මගේ හිතේ අම්මයි තාත්තයි අවුරුදු ගානකින් කොළඹ ඇවිත් නැතුවැති.. තට්ටු ගණන් උස බිල්ඩින්, හයිවේ.. ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්.. දියත උයන.. ක්‍රෙස්කැට්.. හෙට අනිද්දම එක්ක එන්න ඕනි අම්මයි තාත්තවයි කොළඹ බලන්න.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. කමි: මගේ ලියවිල්ලෙන් එක හොඳක් වෙයි වගේ.

      Delete
  14. අවු 75 -100 කලින් කොළඹ චායාරූප හොයාගන්න පුලුවන් ඒත් 1970-80 ඒවා අමාරුයි. අපහැදිලි මතකයන් විතරයි.
    ඇත්තටම ඒකාලෙ විතරක් නෙමෙයි මෑතකාලීන සීඝ්‍ර වෙනස් වීමේ ෆෝටෝග්‍රැෆික් රෙකෝඩ් වත් නෑනෙ

    ReplyDelete
  15. ගෝල්පීස් මතකයන් බොහෝමයි... අපූරුයි... පොඩි කාළේ මොහොතක් ජීවත් උනා... මම ලියමින් හිටපු ළිපි මාලාවක් පටන් ගන්න හොඳම මොහොත මෙයදෝ කියා සිතෙනවා...

    ReplyDelete
  16. ඇත්තම තමා ප්‍රා ජේ . නිකන් lost generation එකක් වගේ .
    70-80 කියන්නේ කළු සුදු ව හිටපු මිනිසුන්ට ඇඟට පාට එක වෙලා , බ්ලැක් ඇන්ඩ් වයිට් ඇඳුම් වලින් කලර්ඩ් ඇඳුම් වලට මාරු වෙච්ච කාලේ නේ ... ඔය ෆිල්ම් වල තියෙන්නේ

    ReplyDelete
  17. ජාලියගේ අන්තිම ඡේදයෙන් කියවෙන්නේ මගේම අදහස් කියලා මට හිතෙනවා. රටවල් දෙකක හිටියත්, කිසිදා මුණ නොගැහුනත් අපි යන්නේ එකම පාරෙ නෙවෙයිද? මම මේකෙන් ජාලියව නැවත හඳුනාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අපි ගොඩක් දෙනා එකම පාරේ
      ඔබ ටිකක් ඉස්සරහින්
      See you when I get to the end

      Delete
  18. පද්‍යයට වඩා ගද්‍යය බලවත්!

    ReplyDelete
    Replies
    1. පද්‍යත් ටිකක් දියුනු කර ගන්න ඕනේ

      Delete
  19. //there is no free lunch //
    මට හම්බුන හොද උත්තරයක්! ස්තූතියි අයියට!

    ReplyDelete
    Replies
    1. මම එය උදක්ම විශ්වාස කරමි

      Delete
  20. මගේ ලමා කාලය මතක් උනා. බොහෝ දේ නොලැබ හිතෙන් දුක් වින්දා. නමුත් ජීවිතේ හැටි හරිම පුදුමයි. ඒ හැම දෙයක්ම මා තරුන කාලෙදී ලැබුනා, මගෙ දරුවන් තිදෙනාත් උපරිම සැප වින්දා. නමුත් එයාලට ජීවිතේ දුක විඳින්න බෑ. එයලගෙ ප්‍රශ්න වලදි කඩා වැටෙනවා. අපි කරපු ලොකුම වැරද්ද එයාලට සැප දීපු එකයි කියල වෙලාවකට මට හිතෙනවා. අපි ලැබූ පන්නරය එයාලට ලබන්න බැරිවේවි. මේ අපේ කාලෙ වෙච්ච වෙනස අත් විඳින ඔවුන්ට නොහකිවේවි. මාත් දැන් අත්තම්මෙක් වෙලා වයසට යමින් ඉන්නෙ. බොහොම තදින් මේ සටහන හිතට වැදුනා. ස්තූතියි! JP.

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි එවුන්ට මුහුන දෙන්න වෙන ප්‍රශ්නත් වෙනස් වේවි

      උනුත් කියාවී උන්ට නොලැබුනු දේ ගැන

      Delete
  21. Replies
    1. බස්සියෙක් විත් හ්ම් හ්ම් ගෑවාය :)

      Delete

Have commented