19 October 2015

ෆෘට් සැලඩ් මතක සහ විවිධත්වය හා අනුගත වීම පිලිබඳ ෆෘට් සැලඩ් න්‍යාය// fruit salad memories and fruit salad theory of diversity and inclusion



ඒ දවස් වල බොහෝ විට ෆෘට්  සැලඩ් එකක් අපේ ගෙදර හැදුනේ දානේකටය. බොහෝ විට මේ පලතුරු ගෙනාවේ නුගේගොඩ පොලෙන්ය . "ෆෘට් සැලඩ් එකකට " කියා කිව්වහම අඹ විකුනපු මුදලාලි , ගොඩේ යටින් හොඳ ගෙඩි තෝරා දුන් හැටිද මතක් වේ . මෙහි කිසි තාර්කික පදනමක් නැතත් , ඒ දවස් වල ෆ්රුට් සැලඩ් හා දානේ ගෙවල් අතර තිබු සම්බන්ධය නිසාම එය කළා යයි දැන් හැඟේ . ෆෘට්  සැලඩ් එකක හැදීම මහා ව්‍යාපෘතියකි . පලතුරු හේදීම , ලෙලි ගැසීම , කෑලි කැපීමෙන් පසු එය බේසමක මිශ්‍ර වන්නේය . එය දුටු විට නම් මට දැනුනේ මහා අප්පිරියාවක්මය . නමුත් එය ඉවසා ගෙන ඒ අසල ගැවසුණේ , ඉතුරු අඹ ඇට ටික ලැබෙන නිසාය . නමුත් පසුව බෙලෙක් හෝ ප්ලාස්ටික් කෝප්පයකට , අයිස් ක්‍රීම්  හැන්දක් යට හංගා දුන් විට කිසිම සිඟිත්තෙක්  එය එපා කියන්නේ නම් නැත .

***

"ගෑණු ප්‍රතිශතය හරි ... දැන් අබ්බගාත පොරකුයි , අන්දයෙකුයි , සමලිංගිකයෙකුයි දෙපාර්තුමේන්තුවට ගත්තා නම් මගේ විවිධත්ව (diversity ) ටාගට් එක හරි "

ඒ අපේ ආයතනයේ සංස්කෘතික විවිධත්වය ,  සැමට සම තැන ගැන ලියවුනු මහා සිද්ධාන්ත,  ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවෙන හැටිය .  මෙය අපේ ආයතනයේ පමණක් නොව ලොව වටා බොහෝ ආයතන වල තත්වය යයි මම විශ්වාස කරමි .

විවිධත්වය මුලින්ම පිළිගත යුතුය (accept) , ඉන්පසු එය වැළඳ ගත යුතුය (embrace). නමුත් බොහෝ විට Diversity කතාන්දරය එතනින් නවතී 

 මෙය පලතුරු වට්ටියක ඇති විවිධ පලතුරු , අතගා , සුවඳ බැලීමට සමාන කර සිතන්න . අඹ ගෙඩි අඹ ගෙඩි ලෙසද , අන්නාසි අන්නාසි ලෙසද , කෙසෙල් ගෙඩි කෙසෙල් ගෙඩි ලෙසද හඳුනා ගනිමු . නමුත් වැදගත්ම පියවර එන්නේ මින් පසුව ය. එනම් අනුගත කර ගැනීමය (inclusion). 

මෙය, එක විදියකට පලතුරු ලෙලි ගසා , ඉඩ ඇති බඳුනකට දමා පලතුරු සලාදයක් සැදීම වැන්න . ෆෘට්  සැලඩ් එකක දැනෙන්නේ මිශ්‍ර පලතුරු රසය මිස , වෙන් වෙන් පලතුරු රසය නොවේය . වෙන් වෙන් පළතුරැ සියල්ල වෙන් වෙන්ව කෑවත් (බඩේ දී ෆෘට්  සැලඩ් වෙන්න ) , ෆෘට්  සැලඩ් අත්දැකීම හා සම නොවන්නේය . පලතුරු සලාදයකට පලතුරු සම සම ගන්නේ නැත . වැඩි ඇඹුල් දේ මද වශයෙන්ද , බහුල දේ වැඩි වශයෙන්ද ගනිමු . එහෙත් ඇඹුලේ  ඇඹුල , අන් සියල්ල අභිබවා මතුවෙන අවස්ථාද . සංස්කෘතියන් ද මෙසේමය . සැර  සංස්කෘතික ලක්ෂණ අනුගත වීම තුලද මතුවේ . රහස තියෙන්නේ හරි මාත්‍රාව සොයා ගැනීමෙහි මය . කෙසෙල් ගෙඩි ඇවරියක්  පෙති ගසා , අන්නාසි පෙත්තක් දමා පලතුරු සලාදයක් වෙන්නේ නැත . එමෙන්ම එය අන්නාසි දැමු පමණින් අන්නාසි සලාදයක් වෙන්නේද නැත 

ෆෘට්  සැලඩ් එකේ පලතුරු වෙනම රස නොදැනුනද , සුමිශ්‍ර රසයක්ම දැනුනද , හදිසියේවත්  එක්  පළතුරක් දමන්නට බැරි වුව හොත් නම් එම පලතුර නොමැති බව තේරෙන්නට ගනී .

විවිධත්වය හා අනුගත කර ගැනීමද මෙසේමය . නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගත යුතුය  (ඇඹුල් කෙහෙල් වෙනුවට රත් කෙහෙල් ගෙඩියක් කපා දැමීමෙන් වැඩේ ගොඩ දා ගන්න බැරිය . කාන්තාවන් නියෝජනයට රෝසි සැලකීමේදී වේවා , දෙමළුන් නියෝජනයට සම්බන්ධන් සැලකීමෙදී වේවා මෙය පොදුය .). සියලු අමුද්‍රව්‍ය නියමිත මාත්‍රාවට බඳුනට දැමීය යුතුය ( අඹ පැත්තකින් තියා සැලඩ් එක ඇනීමෙන් වැඩේ ජෝන් බාස් වේ) . හොඳට ඇනිය යුතුය (හොඳින් ම ඇනිය  යුතුය . නමුත් වැඩියෙන් ඇනුවොත්  වැඩේ චොර  වේ ) .

විවිධත්වයන් හඳුනා ගැනීමේ අවසාන ඉලක්කය අනුගතවීමම විය යුතු  යැයි. අනුගත වීමේ අවසාන ඉලක්කය , ලේබල් හැලීම දක්වාම විය යුතු යැයි , සිතමි . ආයතනයක විවිධත්ව ඉලක්ක , සමතැන දීම වේවා , රටක ජාතික ඒකාග්‍ර තාවය වේවා, මෙය පොදු යයි සිතමි .

මතක තබා ගන්න "අන්නාසිත්  තියෙන නිසා සැලඩ් ඒක ජාති" කියා මිස , "අන්නාසි තිබුනත් සැලඩ් එක රසයි " කියා අපි කිසිදින නොකියමු.

එසේ නම් ....?

15 comments:

  1. දමන පලතුරු අනුපාත සහ පලතුරු වර්ග ගැන තීරණය ගන්නේ කවුද,කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ!

    රස්සාවකට නම් ඔය සාධක නෙමෙයි අදාළ වැඩේ හොඳටම කරන්න පුළුවන් කෙනාටයි දෙන්න ඕනේ.
    ඒ සාධක ඒ වැඩේට අදාළ ද නැද්ද කියන එකත් සමහර වෙලාවට හොයන්න වෙනවා.

    ඔයා ෆ්රුට් සැලඩ් කිව්වම මතක් උනේ අර අනූ ගණන් වල අග හරියේ වගේ ගිය පොඩ්ඩක් වගේ PG 13 ජෝක් එක. අර අහවලාගේ පුතයි තව කාගේද දුවයි (ඕන දේශපාලුවෝ දෙන්නෙක්ගේ නම් 2 ක් දා ගන්න) ට්‍රිප් එකක් ගිහින් හොටෙල් එකේ එක කාමරයක ඉන්න උනු කතාව! :D

    ReplyDelete
    Replies
    1. රස්සාවකට එහෙම වෙන්න ඕනේ උනාට ...

      ප්‍රජාතන්ත්‍රවාදයත් කොනට ගියාම ඒ වගේ වෙනවා

      Delete
  2. සැලඩ්වලට වැඩිය මං කැමති ස්මූති වලටයි!
    එතකොට හොඳටෝම මිශ්‍රයි, වෙන් කරලා හොයා ගන්න බැරි විදියට.

    ReplyDelete
    Replies
    1. ඒත් කෑලි වෙන වෙනම හැපෙනකොටත් නිකන් මෙව්වා එකක් තියෙනවා නේද

      Delete
  3. මරු ආදෙශනේ යොදාගෙන තියෙන්නෙ ජේපී. "විවිධත්වයන් හඳුනා ගැනීමේ අවසාන ඉලක්කය අනුගතවීමම විය යුතු යැයි. අනුගත වීමේ අවසාන ඉලක්කය , ලේබල් හැලීම දක්වාම විය යුතු යැයි , සිතමි . ආයතනයක විවිධත්ව ඉලක්ක , සමතැන දීම වේවා , රටක ජාතික ඒකාග්‍ර තාවය වේවා, මෙය පොදු යයි සිතමි ." මේ අනුගතවීම හැමෝටම ගැලපෙන්නෙ නෑ. සමහරු කවදාවත්ම අනුගත කරන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු නම් එහෙම තමා

      Delete
  4. ඩයට් ෆෘඩ් සැලඩ් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අයිස් ක්‍රීම් නැතිව ?

      Delete
  5. ෆෘට් සැලඩ් එකට යෙදිය යුතු පළතුරු ප්‍රමාණයන් නිර්ණය කරන්නේ ඒ ගැන පළපුරුද්දක් ඇති අයය. ඔවුන් ගැපෙන අනුපාත වලට අමතරව හොඳ පලතුරු, ගැලපෙන පළතුරු, තොරා ගැණීමටත් කුණුවී ගඳ ගසන ඒවා ඉවත් කිරීමටත් දැනීමක් ඇති අයය. මහජන නියෝජිතයන් තේරීමෙදි, කුණු අඹ හොඳ අඹ ලෙස පෙනී සිටීමත්, අළු කෙසෙල් ඇඹුල් කෙසෙල් ලෙස පෙනීසිටිමත්, ඒවා වෙන් වෙන්ව අඳුනා ගත නොහැකි පිරිසක් අනුපාත සහ පළතුරු තෝරාගැනීමත් සිදුවේ. කෙසේ වෙතත් ඔබ කීමට අදහස් කරන කරුනනම් පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේත් පැහැදිලියි

      මම කීමට හැදුවේ ජනතා නියෝජිතයන්ට වඩා , මුළු සමාජයම ගැන

      ජාතිකත්වය ගැන

      Delete
  6. මම දන්නා තරමින් නම් ෆ්රුට් සැලඩ් එකට ගන්නේ තනි තනිව ගත්කල මෙලෝ විදියකින් කන්නට බැරි බෙටිකුට්ටන් උන පලතුරු හෝ පනුවෝ ගහපු පලතුරු. ඇත්තද මන්ද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ වුනාට , දානේකට එහෙම කරන්නේ නෑ නේද

      හැබැයි අපි නම් හදලා තියෙන්නේ ඒ වගේ ෆෘට් සැලඩ් එකක් තමා නේද ?

      Delete
  7. සහතිකයි. සැලඩ් එක මිශ්‍රවීම නොගැලපේ නම් ඇත්තටම රසයක් නැත්තේමය.

    ReplyDelete

Have commented