20 October 2012

සමන්තිගේ සමාන්තර විශ්වය

සමන්ති අද බර කල්පනාවකය . සමහර විටක ඇය එසේය  . 
වෙනදා වාගේම අපි මේ කෙටි තාප්පය මත හිඳ  ගෙන සිටින්නෙමු .  සමන්තිට නයිට් ශිෆ්ට් වැටුන නැති දවස් වලට අපි මෙතනට එන්නේ කතාකරන්නටය . කතාව කෙසේ වුනත් , වැඩි වෙලාවක් අපි කරන්නේ මුහුණෙන් මුහුණ බලා සිටීමය . තාප්පයෙන් එහා පැත්තේ සොහොන් කොත් හැරුනාම මෙතන මරු තැනකි . නිස්කලංකය .කොල්ලෝ බෝල ගහන්නේඅන්නාසි කාරයෝ වාතයක් වෙන්නේ නැත . කළුවර වැටුනාම තාප්පයෙන් එහා පැත්තේ සොහොන් කොත් වල  මූසල ගතිය වුවද අඩුය.  
  
සුළඟට සමන්තිගේ කෙහෙ රැල්ලක් නළලත රඟන්නීය. සමන්ති තවමත් අහස දිහා බලාගත් වනමය . අමාවක අහස පුරා තරු ඉසිරී  ඇත .
සොහොන් කොත් දෙකක් අතර ඇඳි කොහු ලනු රෙදි  වැලක 
සරමක් වේලෙන්නට වනා ඇත .  
 වැනු සරමේ කනාමැදිරියෙක් හෙමින් ගාටන්නේය .  
  
"තනි තරුවේ ....ඔබත් ඔතන ඔහොම ඉන්න ...මමත් මෙහෙම මෙතැන ඉන්නවා "  විජයගේ ගී හඬ හිසේ දෝංකාර දෙයි . 
  
"සමන්ති , මොනවද ඔච්චර කල්පනා කරන්නේ " , මගේ ඉවසීම කෙටිය . 
ඇයට කල්පනා කරන්නට බොහෝ දේ ඇත .   ඇගේ සහ මගේ නොගැලපෙන ලෝක දෙක  . උසස් පෙළ සමත් වුවද , ඇයට පියගැනිය නොහැකි වූ ඒ ලෝකය .  පේලි පේලි මහන මැෂින් වලට එපිට  ඇගේ අනාගතය. උපාධියක් අතේ තියාගෙන ලතැවෙන මගේ අනාගතය .

"අහසේ තරු කොච්චර ඇත්ද ?" . ඇගේ ඇස කොනේ කඳුළු බින්දුවක් දිලිසේ. මම මේ යථාර්තයට අකමැත්තෙමි . ඇගේ කෙටි වාක්‍ය අතරේ මාගේ පාණ්ඩිත්‍ය නිහඬ වෙයි.

"ඒ උනාට එකක් පොළොවට වැටිලා " මම,  සරම් අවකාශයේ ගාටන 
කනාමැදිරි තරුව දෙසට ඇඟිල්ල දිගුකරමි .....ඇගේ මුහුණේ සිහින් සිනාවක් ඇඳේ. 

"සමන්ති , මේ තරු අස්සේ කොහේ හරි තැනක ,  මීට සමාන්තර විශ්වයක , ඇති තැනක්...අද රෑ අපි දෙන්නා සතුටින් කතාකරන ". 

"සමාන්තර විශ්වයක් ...?"

" ඔව් අර සමනල විප්ලවයේ වගේ ..මර්වින් මහන වෙන ....මාලක අම්බානකට ගුටි කන ......,මමඅර දවසක කිව්වේ බ්ලොග් එකක් ගැන ...දවසක මම ලැප් එක ගෙනල්ල පෙන්නම් .."

හමන මද සුළඟට , වැලේ  සරම ලෙල දෙන්නේය . කනාමැදිරියා සරමේ කොනටම අවුත්ය .

"ඔය සල්ලි නාස්ති කරන්න එපා , ඔය ඉන්ටෙර්නෙට් කාඩ්  වලට ...මට පඩි හම්බුවෙන්න තව සති දෙකක් තියෙනවා " . ඇය පාගිල්ලෙන්  වැල්ලේ සිතුවම් අඳින්නිය .

මා සිතේ මහා බරක් එල්ලෙයි .. මහා ස්නේහයක් , මහා නයගැතිකමක්, මහා වැරැද්දක් කළා යයි හැඟීමක් ...හෙමින් හෙමින් කාන්දුවී ...මනස පිරි යයි .

මම,   අතරමන් වූ තරුව සොයමි ...ඌ සරමේ එහා පැත්තට ගොසින්ය ...."තරුව ගිහින් වගේ "

" නෑ ඌ ගිහින් සමාන්තර විශ්වයකට " ..ඒ හඬේ මට තේරුම් ගත නොහැකි මොකක්දෝ බරක් ...උගේ එලිය යාන්තමට තුනී තිරය තුලින් පෙනේ .


ප ලි 
මෙය කෙටි කතාවක් නොවේ .  දිගම දිග කතාවක මැද හරියයි . 
සමාන්තර විශ්වයක් යනු වැනු සරමේ එහා පැත්ත වැනිය ....අපි ජීවත්වන යථාර්රතයට අප පතන යථාර්තය එතරම්ම ළඟය ... 

5 comments:

  1. මේක ප:ලි: ය කතාව තරම්ම රසවත්.
    මම මේකෑල්ල උපුටලා දානවා දුකාගෙ බ්ලොග් එකේ පේමිස්ට් කතාවකට කමෙන්ට් එකක් හැටියට මේකෙ ලින්ක් එකත් එක්ක.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩූඩ්.ගොඩක් කෙටි කතා එහෙම නේද ?

      Delete
  2. 2007 ඉඳන්..? මාර සීන් එකක් නේ... මේ බ්ලොග් එක කොහෙද අප්පා තිබ්බේ..? :O

    ReplyDelete
    Replies
    1. බෙයිලි මහත්මයා (සා සෙ) බොහොම ස්තුතියි . නැවත එන්න

      Delete
  3. සමාන්තර විශ්වය, එහෙම එකක වත අපි සතුටින් ඉන්නවානම්....

    ReplyDelete

Have commented