13 July 2013

බයියෝ, ටොයියෝ සහ දෙයියෝ

අප්‍රිකාවේ සැවනාවේ , උසට වැදුණු තණ පඳුරු අතරේ සැඟවී සිටින මනුෂ්‍ය දුවකි . ඇයට අපි ලූසී (Lucy) කියමු . හැමෝම ඇයව හඳුන්වන්නේ එසේය . ඒ වසර මිලියන 3 කට පමණ පෙරය . ඒ දවස් වල සිටියේ බයියන් පමණි.  තමන්ගේ පාඩුවේ කන්න යමක් සොයා ගනිමින් ඉබා ගාතේ එහෙ මෙහෙ ඇවිදින ඔවුහු බොහෝ විට තනි තනිව හෝ පවුල් වශයෙන් විසුහ . 

ලුසීට ශබ්දයක් ඇසේ . ඈතින් තණ පඳුරු  සෙලවෙනවා ඈ  දකින්නීය . එය ගොදුරක් සොයනා නපුරු සතෙක් විය හැක . එසේනම් එය කලබල වීමට කාරණයකි . පන රැක ගෙන හැකි වේගයෙන් දිව ගොස් සැඟවිය යුතුය .  අනෙක් අතට ඇතැම් විට එය සුළග පමණක් විය හැක . එසේ නම් කලබල වීම නිකරුනේය . ඇය තීරණයක් ගත යුතුය . ඒ සුළඟයි සිතා  හුන්වනම සිට , ඇයට  වැරදුනොත් , ඇය සතෙකුට ගොදුරු විය හැක . එය භයානක වැරදිමකි  .
නමුත් ඈ  නිකරුනේ කලබල වූවානම් , විය හැකි ලොකුම හානිය නිකරුනේ හති  වැටීම පමණකි . එය A වර්ගයේ  වැරදීමකි (type A mistake). සුදානම් සරීරේ වර්ගයේ වැරදීමකි . ඇගේ  පන බේරෙන්නේ , වඳ නොවී මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය වන්නේ බයියන් මෙසේ  type A  වර්ගයේ වැරදීම් දිගින් දිගටම කිරීමේ හේතුවෙනි .

මනුෂයෝ දඩයම්  ඇට,  පළ  එකතු කිරීමේ (age of the hunter/ gatherer ) යුගයට පිය නගති .  දැන්  දැන් මේ මනුසතා ජීවත් වන්නේ කුඩා කණ්ඩායම් වශයෙනි . දඩයමක් කරගත් පසු , තම කොටස බෙදා ගන්නට ඔවුහු පොරකති . ටිකක් පොත්ත රතු , ඇඟේ  මවිල් අඩු එකෙක් , රැලේ බිහිවන්නේ මේ අතරය . මූ,බයියන්ට  අලුත් ප්‍රේහෙලිකාවකි . අනික් වුන් දත් විලිස්සාගෙන අතේ තියෙන මස් කුට්ටියට පොර බදිද්දී , උන් සමග හරියට හරියට පොර බදින  බයියන් ,  මේ අලුත් සතා සමග පොර නොබදින්නේ අර උන්ගේ මනසේ පැල  පදියම් වී ,  hardwire වී තිබෙන, සුදානම් සරිරේ කියා තීරණ ගන්නා මානසික තත්වය නිසාමය .

 උන් මස් කුට්ටිය අත හරිති . දැන් අර පොත්ත රතු එකා ටොයියෙකි . කාලය ගත වෙත්ම ඌට දඩයම් කිරීමට අවශ්‍යතාවයක් නැත්තටම නැති වෙයි  . කවුරු හරි එකෙක් අමාරුවෙන් ගෙන දෙයක්  දත් විලිස්සා උදුරා ගැනීමට ඌ   පුරුදු වෙයි . ටොයියෝ  බිහි කලේද බයියෝය .

තවත් අවුරුදු දහස් ගණනක් ගතවී  ඇත .  ආහාර මගින් ලබන ශක්තිය ශ්‍රමය හැටියට වැය  කිරීමට ටොයියන්ට  අවැසි  නැත . ඒ නිසා උන් ව්‍යායාම කරන්නේ මොලයටය , ඒ නිසා උන්ගේ මොලය බයියන්ට වඩා වැඩේ . දැන් දැන් ටොයියන්ට bright ideas පහල වේ .

බයියෝ දැන් ටොයියෝ , නායකත්වයෙහි සලකති . කණ්ඩායම් විශාල වී ඇති නිසා ටොයියන්ට හැම බයියෙක්ම කරන දේ පාලනය කරන්නට නොහැකි වේගෙන එයි . බයියෝ ටික ටික ටොයියන්ගේ නීති වලින් පිට පනිති . එසේ කර,  බේරෙන්නට හැකි බව දත් පසු , උන් එය නැවත නැවත කරන්නට පසුබට නොවෙති .

දවසක් ටොයියෙක්  තම පාලිත බයියන් රැස් කළේය . ඔහුගේ වයිවර්ණ  පිහාටු හිස් වස්මද පැළඳ ඔවුන් ඉදිරියට එන ඔහු, අත්ලෙහි ඇති  බොරළු අහුරක් පෙන්වන්නේය .
" මේ ඉන්නේ මහා බල සම්පන්න සතෙක් . උඹල කරන හැම දෙයක්ම මූට පෙනෙනවා . උඹලා රැහේ නීතිවලින් පිට පැන්නොත් , මූ පැනල උඹලව මරලා දමාවි .  මූව උඹලට පෙනෙන්නේ නෑ . ඒ උනාට පරිස්සමෙන් . "
ටොයියා ගල් අහුරා විසිකරන්නේය .
 "දැන් ඌ හැම තැනම . මම නැති උනාට , මට පෙනෙන්නේ නැති උනාට,  මුට පෙනෙනවා . මු මටත්  වඩා භයානකයි "

බයියෝ , හොඳටම බය වෙති . ටොයියා බොරු කියනවා විය හැක . ඒත්  එය ඇත්තනම් , එය බොරුවක්යි සිතීමෙන් මහා විපත් සිදුවිය හැක . ඔවුන් නැවතත් සුදානම් සරිරේ පැත්තට තීරණය කරත් .

"ටොයියෝ , ටොයියෝ  , මේ මහා උත්තමයාට කියන නම මොකක්ද " බයියෝ අසති 

"අපි දෙයියෝ කියමු "



පලි . 
වරදවා තේරුම් නොගන්න. මෙය කිසිවෙකුගේ විශ්වාසයන්ට අපහාසයක් නොවේ . හිතලුවක් පමණි . 
එනමුදු , නොදන්නා බොහෝ  දේ ඇසු  පමණින් විශ්වාස බවට පත් කරගන්නා අපට , මෙය මෙසේ නොවුවේයැයි  කිව හැකිද .

බයියන්ගේ බියගුළු , ඇඟ  පරිස්සම් කර ගැනීමේ මානසික තාවය නිසා උන් වඳ නොවී අද දක්වා පැවතෙත් . බයියෝ පැවතෙන නිසාම ටොයියෝ  පැවතෙති . ටොයියෝ  සහ බයියෝ ඉන්න තාක් කල් දෙයියෝ පැවතෙති  

4 comments:

  1. හා හා කට කට. බය සැක නැතුව කියන දේවල්. දෙය්යො දඬුවම් කරාවි.

    Lucy ගේ කතාව මම ටීවී එකෙන් දැක්කා. හරි ලස්සනයි නේද? දුක හිතෙනවා ලුසීගෙ ඉරනම මතක් වෙන කොට. survival of the fittest.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැලුවොත් survival of fittest නෙමෙයි survival of the most adoptable

      Delete
  2. ඕන්න ඔහොමයි එතකොට වුනේ නේද? JP ට මේ කතාව මතක් තියෙන එකනේ පුදුමේ.
    නමුත් හිටපු ගමන් සමහර ටොය්යෝ තමන් දෙයියෝ කියලත් හිතනවා නේද? අර God Player කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම තමයි උනේ . කොහොමත් ටොයියෝ ඉන්නේ දෙයියන්ට එහා

      Delete

Have commented