31 March 2014

පාට. Colours.




පාට .
බලෙන්ම විත්,
වසා ගනිත් හැඩතල,
අලෝකයට මුවාවු සෙවනැලි.
කැලැල් , 
ජීවිතයට සීරුනු.
තොරතෝන්චියක් නැතිව , 
දොඩවන්නට ගනියි.
රළ සේ.
ඔබ සේ.


Colors
 intrude the image,
thoughts
It covers the obvious 
The scars 
(bragging rights 
of living )
Like a grand aunt ,
It takes over the conversation
and loose you 


27 March 2014

රා බොමු, එලාර දුටු ගැමුනු සින්දුව සහ ගෝපී

රා බොමු

ඔබ දැක ඇති ඒ අහිංසක යෝජනාව බොහොම ලාවට කරන පොඩි බෝඩ් එකක ලියා පොල් ගහක කඳේ අලවා  ඇති . එහෙම නැතිනම් බැරල් එකක ලියපු . රා තියෙනවා කියන්නේ නෑ . එන්න ඇවිත් බොන්න කියන්නේ නෑ . රා බිව්වොත් හොඳයි කියන්නේ නෑ . රා බොමු කියලා පුංචි අදහසක් ඔලුවට ඇතුළු කරනවා විතරයි . එතනින් පස්සේ අවශ්‍යතා ඇති වෙන්න ගන්නවා අපේ හිත්වල . පොඩියට ඇතිවෙන ආශා , නැතිවම බැරි තත්වයට එනවා . එත් තීරණය ගන්නේ අපි . පස්සේ වැඩේ වැරදිලා බඩ  බුරුල් උනොත් , ලඟින් ඉන්න බැරි තරමට පුසුඹ වැඩි උනොත් ... කවුරුවත් බොන්න කිව්වේ නෑනේ . ඉතින් වැරැද්ද අපේමයි .
මට ඇහුනා,  ඔබ හිතනවා  ...ඒ ඉතින් රා නේ කියලා .... එතකොට ඔබට ඇහිලා නැත්ද යමෙක් මෙහෙම කියනවා  "අපි කලගුණ සලකන ජාතියක් .."

එලාර දුටු ගැමුණු සින්දුව

මේක පොඩ්ඩක් විතර පැරණි රසාංගයක් . පැරණි සින්දුවක් . ගයන්නේ ඒ යුගයේ වැඩියෙන්ම බැණුම්  අහපු සංගීත කණ්ඩායමක් . සන් ෆ්ලවර්ස්
මතකද බලන්න අර ලාම්පුවට හුලන් ගහපු එළාර ගෙයි දුටු ගැමුණුගෙයි කතාව .  අර ලාම්පු එළියෙන් , ප්‍රේක්ෂකයන්ගේ  ඔල්වරසන් හඬේ  ෆෝම් එකට රග දුන් එළාර දුටු ගැමුණු නාඩගමේ කතාව .
මෙන්න මෙහෙම පටන් ගන්නේ
එළාර දුටු ගැමුණු , යුද්දය තේමා වුනු
නාට්ටියක් නැටුවලු ඉස්සර කාලේ
දැන් කාලේ වගේමලු යුද්ද කතා බලන්නමලු
කට්ටිය එකතු වුනේ ඉස්සර කාලේ
මතකද ඊට පස්සේ වෙච්ච දේ ... මැදදී දුටු ගැමුණු උඩ පැනලා  ලාම්පුවට පයින් ගහනවා . එකෙන් පස්සේ බෑඩ් ලයිට් නිසා තරඟය හදිසියේ අත් හිටවනවා . ටික වෙලාවකින් කට්ටිය ටෝච් එකක් ගහල බලනකොට මෙන්න එලාරයි දුටු ගැමුනුයි  කළුවරේ ඉඳන් මාරුවෙන් මාරුවට ලාම්පුවට හුලන් ගහනවා .
නැවත අහන කොට මේ සින්දුවේ පණිවුඩය තවත් තදින් මට දැනෙන්න ගන්නවා . සාමය ඇතුලේ ජිවත් වෙන යුද්ධය ගැන මට හිතෙන්න ගන්නවා .
මම කියනවට වඩා , සින්දුව අහලම බලන්න


ගෝපී

එතකොට ගෝපී  නේද ?
තවම අවතීර්ණ වුන විතරනේ කරලියට . පූරකගෙ  කවි දෙක තුන අවසන් වෙලා . ඔහු පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා  . බල්ටි දෙක තුනක් ගහනකන් ඉවසන් ඉන්න , හූ කියන්න හරි විසිල් ගහන්න ( ඔව් විසිල්  ගහන අයත් ඉන්නවා,  අමතක කරන්න එපා  ) හරි කලින්

පලි : ස්පෝට් ලයිට් එක නළුවට යොමු වුන කල්හි , අවධානයට ලක් නොවෙන පසුතලයේ කෙතරම් දේ සිදුවේද ?

19 March 2014

The unfinished poem and the disturbed song. //. නොනිමි කවිය සහ බලෙන් නැවතු ගීය

නොනිදි කවියෙක්
කැළඹි සිතකින්
තනයි පෙළගසන්නට වදන්
කොපි පොතක රූල් අතර
සොයයි සන්වේදනාවක් කුමක් හෝ
අවසන් කරනට
නොනිමි කවියක්
ගල්ගැසුනු
හි‍රිවැටුනු සිතක කොනක


චටාස් හඬින්
බිඳේ එලිසමය
නිමාවෙයි සැනෙකින්
පද තුනක් පුරා
තාලයට ගැලූ මදුරු ගීතය
කවියටම දිවි පිදු කිවිඳියක්
රුහිරු විලක් මැද



A sleepless poet
tries hard
to conclude the half done ode
lining up words carefully
within them parallel lines
of the distressed note book

A one handed smack ends
the undone mosquito recital
of beautiful three lines
sparing the last line
of the lingering breve
the frail limbed songstress
lies in a  pool of  gore
succumbed to her song



15 March 2014

අයියෝ MH 370

අනේ මන්දා මචං  මේ දවස් වල මේ ඉස්කෝලවල දෙන ගෙදර වැඩ 

ඇයි  මොකෝ ?

මේ සතියේ පොඩි එකාට දීලා ලියන්න කියලා රචනාවක් , මලයාසියානු ගුවන් අනතුර කියලා . ඇයි  මචං  අපේ කාලේ වගේ මම පොල් ගසක් වෙමි , කොස් ගස , මගේ රට වගේ මාතෘකා දෙන්න බැරි ?

ඉතින් පොඩි එකා ලියලද ?

ලියලද !!!? උඹටත් හරි ජොලි නේද මේවා කියවලා 

..එහෙම නෙමෙයි ..ඒත්  පොඩ්ඩක් එවපංකෝ  බලන්න 


මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුයේ පසුගිය සතියේය . මලයාසියාවෙන් අහසට නැගුනු ගුවන් යානය ආගිය අතක් නැතිවිය . මොනවා වුනාද කියා මුළු ලෝකයම හොයන්නෝය  .  ඒත් තාම හම්බුවුනේ නැත .
කට්ටිය නම් කියන්නේ අනතුරක් වුනාදෝ කියලාය . ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥයකු වන ඇන්ටන් ජෝන්ස් මහතා අතීතයේ වූ අනතුරක් ගැන සිහි කරමින් මෙසේ කියා ඇත 

"කන්දේ හැපුණා  මහා වනාන්තරේ , ඩී  සී  අට අහස්  යන්තරේ , මරු  ආ කල සසරේ , බේරෙන්න බෑ  මිතුරේ , කාගේද මට වරද නොතේරේ ."

මේ වගේ සිද්ධියක් දවසක් අපේ ඉස්කුල් වෑන්  එකටත් සිදුවිය . අපේ ඩ්‍රයිවර් මාමාට  හදිසියේ ටොයිලට් යන්න ඕනෑ  වී යාලුවෙකුගේ ගෙදරට හැරෙව්වේය . අපි ගෙදර එන්න පරක්කු වුනු නිසා අම්මලා හොඳටම කලබල වී සිටියහ. සමහරවිට පයිලට් අංකල්ටත් එහෙම අවශ්‍යතාවයක් ඇති වුනාද දන්නේ නැත . එත් වෑන් වගේ පයිලට් ලා ටොයිලට් යන්න ප්ලේන් මග නවත්වන්නේ නැත . ටොයිලට් එකක් ඇතුලේම  ඇත . ඒත්  ටොයිලට් එකේ දොර කියා ප්ලේන් එකේ මහ දොර  ඇරියාද  දන්නේ නැත . එය ඉතා සුලබ අත්  වැරදීමකි . නමුත් වරදක් කලත් සිතකින් නොවේමය . මහ  දොර ඇරී  ඔහු එලියට වැටුනද දන්නේ නැත . පයිලට් නැති නිසා ප්ලේන් එක තවම ඔහේ යනවා වෙන්න ඇති . ගොඩක් වෙලාවට පයිලට්ලා නැති වුනත් ප්ලේන් ඔහේ  යන්නෝය . මගීන්ටත් කිසි ගානක් නැත .

එහෙමත් නැත්නම් ඒ ගුවන් සේවයේ සභාපති අංකල් වෙන රටක එයාපෝට් එකක ෆ්ලයිට් එකක් නැතිව ඉන්න විට ටක් ගාලා පයිලට්ට කෝල් එකක් දීලා ගෙන්න ගත්තද දන්නේ නැත . අපිත් පොළට  ගොස් බදු මිලදී ගත පසු ත්‍රීවිල්  එකක් එලවන ගුණේ  මාමාට  කෝල්ස් එකක් දෙන්නෙමු . එවිට ඔහු ටුකුස් ගා පැමිණෙන්නෝ ය .ගුවන් සේවයක සභාපති වුනාම ඒවා ඔට්ටුය .

එහෙමත් නැතිනම් කවුරු  ත්‍රස්තවාදියෙක් මේකට ජැක් හයි කලාද , මේක හයි ජැක් කලාද දන්නේ නැත . අර ඇන්ටන් ජෝන්ස් මහතා එවැනි සිද්ධියක් ගැන කියා ඇත්තේ , "දරුවා බලන්න ආසා  , නමුත් නොලැබුණි වීසා , ඉතාලියට යන්නේ කොහොමද? ". "මෙන්න මේ දුක ඉවසා, දරන්න බැරිවුණා මිනිසා , පිස්සු වැටුන එකත් පුදුමද ? " කියාය .
එනමුදු මලයාසියාවේ මාමලා  නම් ඉන්නේ ටිකක් නාගෙන වගේය . ඒ මාමලාගේ දුක මට තේරෙමි . එක දවසක් මගෙත් සෙල්ලම් ජීප් එක නැතිවී මම හැම තැනම සෙව්වෙමි. අපේ අම්මා  ඇහුවේ, අන්තිමට තිබ්බේ කොහේද  කියලාය. ඒක  මතක නම් මම සොයා ගන්නවාය . ඒ මාමලාගෙන්  කට්ටිය අහන්නෙත් ඒ වගේ ප්‍රශ්නය .

හැබැයි එහේ  ලංකාවේ වගේ විපක්ෂයක් නැතිවා වාගේය . නැතිනම් ඔවුන් " මේ ඔක්කොම අර පවුලේ වැරදියයි  " කියන්නට ඕනෑය . එතකොට අනික් පැත්තෙන් "අයියෝ අපිට හරි හමන් විපක්ෂයක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑනේ " කියා කියනු ඇත .

කෙසේ හෝ මේ ගුවන් යානය සොයා ගන්නවාය  . ඒ හොයා ගන්නේ මේ ලෙසය .

කට්ටියට තව ටිකක් හොයන්නට ඉඩදී අපේ ලොකු මාමා  " පුංචි වුනත් ටිකිරි වුනත් මමයි හොයන්නේ " කියා ඉදිරියට එන්නේය .. ඉන්පසු ඒ සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති තුමා , දොස්තර එලියේත් වයිට් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරන්නේය .
ඔවුන් සුභ මොහොතින් මලයාසියාවට ගොස් , ගුප්ත බලයෙන් එය ඇති තැන පින් පොයින්ට් කර ගන්නෝය . ඉන්පසු පෙරලා පැමිණ , ලංකා රේගුවේ ඇති දක්ෂ නිලධාරීන් සමග ගොස් , කොළඹ වරායේ කන්ටේනරයක් අස්සේ සඟවා තිබී ගුවන් යානය සොයා ගන්නෝය . මේ දවස් වල ඔය කන්ටේනර් අස්සෙන් මතු වන්නේ අරුම පුදුම දේවල්මය .

ඉන්පසු මලයාසියාවේ මාමලා සන්තෝස වී අපිටම ඒ ගුවන් යානය තියාගන්න දෙන්නෝය . එය ඉන්පසු දැයට  කිරුළ  කානිවල් එකේ තියා  ප්‍රදර්ශනය කරනවාය . අපි ගොස් පෝලිමේ සිට, එය බලා , හූල්ලා , දුක් රසය බඩ පුරා  විඳ,   විනෝදයෙන් ගෙදර එන්නෙමු 



12 March 2014

ඩමී , ඩබල් ඩමී හා ලේයර්ඩ් ඩබල් ඩමී// Signaling left and turning right

ඩමී කියන්නේ වෙට්ටු දැමීමටය . සතුරෙක් නැත්නම්, වන සතෙක් පස්සෙන් පන්නාගෙන  එනවා නම් සරළ රේඛාවක් සේ දුවනවාට වඩා වෙට්ටු දම දමා දිවීම වඩාත් ඉෆෙක්ටිව් ය .

ඩමී දැමීමේත් ශාශ්තරයක් ඇත . අහවලා  ඩමී දැමීමේ විශාරදයෙකි .ඔබේ දැනුම පිණිස එවැනි ක්‍රම කිහිපයක් පහත දැක්වේ .

ඩමී
ක්‍රම දෙකකි . දකුණට සිග්නල් දමා වමට හැරවීම එක ක්‍රමයකි . චන්දයක් අතරේ , ජිනීවා පෙන්වීම තවත් ක්‍රමයකි .

ඩබල් ඩමී
ඒ අතරේ , ඒෂියන් කප්  පෙන්වීම මේ ගණයට අයත් වේ .

ලේයර්ඩ්  ඩබල් ඩමී
ඒ අස්සේ ඒෂියන් කප් ෆයිනල් එක බැලීමට ලොක්කා යන බව කීයා, මිනිසුන් කුල්ලප්පු කර,  අනෙක් සියලු දේ අමතක කරවීම .

පලි : ඩමීයෙන් ඩමීය උතුම් ඩමීයයි.
යන බව කියා , මිනිසුන් කුලප්පු කර,  නොයා සිට ප්‍රශංසා  ලැබීම 

ප්‍රයිස් ලස්  ය (priceless)

08 March 2014

කොහා පැටියා

බස් රථයෙන් බැස  ගත්  ආනන්ද,  ගුරු පාර දිගේ ඔහේ ඇවිදින්නට පටන් ගත්තේය. 
දහවල් ගෙදරින් ලැබුණු දුරකථන ඇමතුම ඔහු මනස අවුල් කර ඇත්තේය . නොදැනම ඔහු  ගේට්ටුව අසලටම පැමිණ ඇති බව දුටුවේ හිස ඔසවූ පසුවය .

බයිසිකලයේ නැගී පිම්මේ ආ සමරේ මදකට වේගය අඩාල  කර ඔහු වෙත පෑ සරදම් සිනහවද . වට්ටියේ ඉතිරිවූ අන්තිම කතුරුමුරුංගා මිටිය විකුණා ගැනීමට තැනු  කීර  අම්මගේ කරච්චලයද , සේයාවක් මෙන් ඔහු මනසේ රැඳී ඇත .


ගේට්ටුව අගුල ඇර  ගෙන ඇතුළුවත්ම , ඉස්තෝප්පුවේ කුලුනකට බර දී මග බලාන  සිටින නන්දා  ඔහු නෙත ගැටිණි . මළහිරු රැස් , ඈ  චායාව,  දිගට,  ඉස්තෝප්පුවේ සිත්තම් කර ඇත . විවාහ වූ අලුත් ඈ,  මේ ලෙසම , ඔහු සවස එනතුරු මග බලාන හුන්නාය . ඔහු කන්තෝරුව අසල වඩේ  කරත්තයෙන් ගෙන එන පරිප්පු වඩේ දෙක සහිත කඩදාසි උරය  මහා සම්පතක් ලෙස උදුරා ගත්තාය .

නන්දාත් වයසට ගිහිල්ලා ... අමුතු සිතුවිල්ලක් සිත  මුල්ලක ඉපදී , සිත පුරාම මහා කාන්සාවක් සේ පැතිරිණි 

"කෝ ආවද පුතණ්ඩියා ? " ඔහු ඇසුවේ , තම අත  තිබු මල්ල ඈ  වෙත යොමු කරන ගමන් ය 

" ඔන්න වෙනදා වගේම කාමරේට රිංගා  ගෙන දොර වහ ගත්තේ " ඇය  දිගු සුසුමක් හෙළුවාය 

"අනේ තාත්තී ...ඇයි  අපිට මෙහෙම වෙන්නේ ?" ඈ  ඇසුවේ පිළිතුරකට වඩා පිළිසරණක් බලාපොරොත්තුවෙන් යැයි  ඔහුට දැනුනි . . ඈ  කලකින් ඔහුට "තාත්ති " කියා අමතා නැත . 

ඇයට  ඉකි ගැසිනි .

ආනන්ද ඉදිරියට විත් ඈ  සුරත අල්ලා  ගත්තේය . ඈ හිස ඔහු ලැමට  තුරුළුකර ගත්තේය . නන්දා සිතේ සිරකර  හුන් කඳුළු , ඔහේ දෝරේ  ගලා යන්නට ඉඩ හැරියාය .

ඔහු කලකින් ඇයව  මෙසේ තුරුළු කරගෙන නැත . හේ , ඈ  හිස තවත් පපුවට ලං කර ගත්තේය .

______________________________________________________

සුගත් රෑ කෑම  මේසයේ හිඳ ගෙන පිඟානටම මාළු කෑලි  දෙකක්ම බෙදා ගත්තේය . නන්දා  ඔහු පිඟානේ  පාන් පෙති දෙකක් තබද්දී පිටි අල්ලෙන්  කඳුළු පිසිනවා වත් , ආනන්ද  තම හිස් පිඟාන දෙස ඔහේ බලා සිටිනවාවත්  ඔහුට නොපෙනුණි .

"අද හෙන්රි වීරසිංහ කියලා මහත්තයෙක් ගෙදර ඇවිත් තියෙන්නේ "ආනන්ද බැරෑරුම් හඬක් මවා ගෙන මුල් පිරීය .

"අර මොකටද එයා මෙහෙ ආවේ ?" 

"ඇවිත් තියෙන්නේ උඹේ වීර කම ගැන කියලා යන්න , උඹ කරලා තියෙන්නේ ලොකු වීරකමක් ...!!!!" අසීරුවෙන් මැඩ  ගෙන හුන් හැඟීම් ආනන්ද ගේ හඬට  මුසු වන අයුරු නන්දාට  හොඳින් දැනුනි .

"ආ ඒකද  " සුගත් මාළු හොදි වල  පොඟවා පාන් කෑල්ලක් කටේ හුවා ගත්තේය 

"ආ ඒකද  ....!!!? "

" අපි දෙන්නම වැඩිහිටියෝ . ඉතින් එක අපි දෙන්නගේ තීරණයක් . අනික මම ශානිව බඳිනවා නේ කොහොමත් "

"පුතේ !!!...." නන්දාගේ  හඬේ  මහා වේදනාවක් රැඳී තිබිණි . .. එය වැටහුනා දෝ  , මුළු පරිසරයම හූවට පිම්බාක් මෙන් නිසල විය . අමාවක රැයේ  වැයූ  රැහැයි  ගීයද  නතර වූ සෙයකි .

" පුතේ ... අපි මහන්සිවෙලා උඹව හැදුවේ මේකටද ?!... මාත්  ගෑණියෙක් ..ගෑණුන්ගේ  ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා පුතේ ..."

"සෙල්ලමක් නෙමෙයි අම්මේ , මම ශානිව බඳිනවා , බැඳලා ගෙදර ගේනවා , එතකොට ඔක්කොම ඉවරයිනේ

"මිනිහෝ !! උඹට කිසි ලැජ්ජාවක් නැත්ද .." ඉවසීමේ වාන් දොරටු පිටාර  ගැලුවේය .
" උඹ මේ කරපු වැඩේ .. අපේ මූණෙත් දැලි ගාලා .. "ඒ දැරිවි , ඒකිගේ දෙමාපියෝ , අපි ..කොහොමද ලෝකෙට මුණ දෙන්නේ .."
ඒ වචන පිට කරත්ම , කුමක්දෝ මහා ගින්නක් තම ආත්මය දවාලනවා මෙන් ආනන්දට දැනුනි 


"අර මනුස්සයා  ඇඩුවා ...එකම දුවලූ  , බඩේ දරුවෙක් එක්ක කොහොමද පෝරුවට නගන්නේ කියලා ඇහුවා "

"තාත්තේ මේ නිකන් බුදු ටෝක් දෙන්න එපා , බොක්කේ දඩ මස් තියාගෙන . අර සමරේ මාමා කිව්වේ ...අප්පා වගේමයි පුතාගේත් වැඩ කියලා ... තාත්තලා බඳිනකොටත් මම මාස තුනක් බඩේ ලූ නේද ? "

ආනන්දගේ මුළු ලොවම බමනය වන්නට විය .

මංගල රාත්‍රියේ , පුස්සැල්ල තානායමේ කාමරයක , මගුල් සාරිය පිටින්ම නන්දා  ඔහු දෙපා මුල වැඳී වැටෙනවා ඔහුට මැවී  පෙනුනි .
" මම ජාති ජාතිත් නයයි ඔයාට , මේ අවලංගු වෙච්චි මාවයි , මේ අහිංසකයගේ අනාගතේටයි  කර ගැහුවාට " 

"නැගිටින්න නැගිටින්න .." ඔහු නැඹුරු වී ඈ දෙවුරින් අල්වා සිටවුවේය . ඈ  කොපුලේ රැඳුනු කඳුළු උණුහුම , නැවතත් ඔහු ඇඟිලි තුඩට දැනෙන්නට මෙන් විය.

"ඔයාට අනුන්ගේ පවකට කර ගහන්න උනානේ ..මං  වගේ පව් කාරියක් ..."

"චටාස්  ..."  රෑ  නිහැඬියාව පුපුරු ගස්වන අකුණු වන හඬින්  ආනන්ද නැවත වත්මනට ඇද  ගත්තේය ..සුගත් තම කම්මුල අල්ලාගෙන සිටින්නේය . ඔහු දෑසේ ඇත්තේ වික්ෂිප්ත බැල්මකි .

" වහපන් කට ..උඹ මේ මනුස්සයට ඔහොම කතා කරලා තව පව් පුරවා ගන්න එපා " නන්දාගේ  හඬ වෙවුලුම් දුන්නාය 

හේ සියොලඟම හිරි වැටි ගොසිනි
"නන්දා .."
යයි කෑගැසීමට තැතනුවත්  , ඒ වචන උගුරේ සිරවෙනවා ආනන්දට දැනුනි 


06 March 2014

වෙජිටේරියන් මර්සි ගේ , මස් හොදි තියරිය // Leaving the pieces in the dish

මර්සි , මම කොල්ලා කාලේ වැඩ කරපු කන්තෝරුවේ වැඩ කල , ටිකක් තල්තැනි කතක් . කතුරක් වගේ කටක් හිමි ඇය  උම්බල කඩ වත් නොකන්නිය.  පුර්ණ ශාක භක්ෂිකාවක් . ෆුල්ම ෆුල් වෙජිටේරියන් .  

අපේ කැන්ටිම කරපු ඇනස්ලි , හැම කැන්ටිම්  කරුවෙක් වගේම , බැනුම් අහන්නම උපන් කෙනෙක් . අපේ පුරුවේ ණයකට ඔහුගෙන් කන්නත් , ඔහුගේ පුරුවේ පවකට අපෙන් බැනුම් අහන්නත් මෙලෙස හමුවූ බව එදා අපේ හැඟීම විය .

ඇනස්ලිගේ කැන්ටිමේ තිබ්බේ හරිම සිම්පල් ප්ලැන්  එකක් . උදේට පාන් ගෙඩිය හතරට කපලා , පාන් කාලේ කෑලි . පුංචි දීසි  වලට වෙන වෙනම දාපු පරිප්පු , මාළු කෑල්ලක් , මස් කෑලි පහක් . ප්ලාස්ටික් බාල්දියක , වෙනම උයපු ගොරක වැඩි හොදි , පිටිපස්ස කුස්සියේ  . මස් කරි , මාළු කරි ඕන එකකට අර හොද්ද දාලා දෙනවා . හැබැයි ඇහුවොත් අම්මා තාත්තා පල්ලා දිවුරනවා නෑ වෙන වෙනම මස් හොදි මාළු හොදි උයනවා කියලා .

ඔන්න මර්සි එනවා උදේට කන්න 

"ආ මර්සි මිස් ගුඩ් මොර්නින්ග් "

"ඇනස්ලි , මට දෙන්නකෝ පාන් කාලකුයි මස් හොදි එකකුයි , හොඳ කෑලි දාන්න "

පෝලිමේ සිටි මම   "මර්සි අක්කේ , ඔය වෙජිටෙරියන් නේද "

"ඔව් . ..මම හොදි විතරයි කන්නේ "

"ඉතින් එහෙනම් කෑ ලි දාන්න කිව්වේ "

"මෙහෙමයි මල්ලි කෑලි නැත්නම් හොද්දේ රහක් නෑනේ . මම කෑලි  ඉතිරි කරනවා "

"අඩේ මාරයි නේ "

"මාර නෑ . ගොඩක් දේවල් එහෙම තමයි . ඔය ඩිමොක්‍රසි , මීඩියා  ෆ්‍රීඩම් , එතකොට ෆ්‍රී ස්පීච් , එතකොට සමානාත්මතාවය ඔය ඔක්කොම එහෙමයි . ඒවා තියෙන්න ඕනේ හොද්දට වටිනාකමක් එන්න . මස් හොද්දක් , මස් හොද්දක් වෙන්න .හැබැයි ගොඩක් වෙලාවට අපි ඒවා කන්නේ නෑ , කන්න බෑ"


පලි :
ඇගේ  තියරියේ ගැලපුම අද මට වැඩියෙන් දැනේ . අපි සංකල්ප මය වශයෙන් අවැසි යයි සිතන බොහෝ දේ , අවසන අපි දීසියේ  ඉතුරු කර , ගොරක වැඩි හොද්ද සමග පාන් ගිලිනවා නේද යයි විටෙක මට සිතේ . එය අපිට පුරුදු වී ඇත , ඇතැම් විට මස් කෑලි  කෑවොත් අජීර්ණ  ද  විය හැක .

02 March 2014

කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ? // A children's concert

පෙරවදන : ඒ කාලේ ළමා චිත්‍රපට හැදුනේම  නැති තරම් .(මොකෝ ඒ දවස්වල අර සෝමසිරි ගොයියා හිටියෙත් නෑනේ ) ඔන්න ඉඳලා ඉඳලා ආවා චිත්‍රපටයක් "හඳයා " කියලා . පෝනියෙක්  ගැන . හැදුවේ ටයි මාමා (ඔව් ඔව් අර ඇසි දිසි කාටුන් හැදුවේ ).මම හය සැරයක් බැලුවා ඒක  .. මේ ගීතය ඒ චිත්‍රපටයෙන් . හැබැයි මට දැන් හිතෙනවා මෙහි ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා . මිනිසුන් ඇන්දවීම හා රෙදි පෙන්නපුවහම මහගෙන ඇඳ  ගැනීම ගැන කියවුණු .
අපි මෙහෙම කියවමු ගීතය . අහල නැති අය , මේ ක්ලිප් එකෙන් සින්දුව අහන්න .
link




තිරය ඇරේ .බූරුවන් ලෙස සැරසුණු ළමෝ පෙළක් ඉදිරියට එති . ඔවුන් ඉදිරියෙන්  සුදු ජාතික ඇඳුමකින් සැරසුණු ළමයෙක් විත් සිට ගන්නේය . ඔහු කරේ සාටකයකි . ඔහු මෙසේ අසන්නේය 

ලමයා 1 (ගැඹුරු හඬින් ) : " කවුරුදෝ කවුරුදෝ, දැන් ලොක්කෝ "

පිරිස " අපිමයි අපිමයි දැන් ලොක්කෝ "

ලමයා 1:   "කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ "

පිරිස " අපි මයි අපිමයි දැන් ලොක්කෝ "


තවත් ළමෝ පෙළක් වේදිකාවට දිව ගෙන එති . බොහෝ දෙනා ජාතික ඇඳුමින්ද . කිහිප දෙනෙක් කොළ පැහැති  කමිස වලින්ද , තවත් අයෙක් රතු පැහැති කමිස වලින්ද සැරසී සිටිති . අයෙක් හිස මුස්ලිම් තොප්පි ය , අයෙක් හින්දු ආගමේ අය  මෙන් නළලේ අළු ඉරි තුනක් ඇඳ  , පොට්ටුවක් තබා ඇත . 

"හු හු හු හු ...හු හු හු හු ... " ඔවුහු අර බූරුවන් දෙසට ඇඟිලි දිගු කරමින් හූ  කියති , සමච්චලයට සිනහ වෙති . බුරු පිරිස කලබල වෙති , ඔවුහු කැළඹීමක් පෙන්වති 

ළමයා 1 (සියලු දෙනා දෙසට දෑත් යොමු කරමින් ) .

"හා හා කලබල වෙන්න එපා .... ඔක්කොම අපි ලොක්කෝ "
 (කැළඹීම මදක් සන්සුන් වේ )

ළමයා 1: හතුරු බලේ ගියා කැලේ , අපේ බලේ සමගි බලේ  
(ඔහු අනෙක් අයටද ගායනා කරන ලෙස අතින් සන් කරයි ).

බුරු පිරිස (අත්  ඔසවමින්) : හතුරු බලේ ගියා කැලේ , අපේ බලේ සමගි බලේ 

(සුදු ජාතික ඇඳුමින් සැරසුණු පිරිස අතුරින් , කුඩා ළමෝ කැලක්  ඉදිරියට එති )

ලොක්කෝ අපි ලොක්කෝ අපි ....අද ගමට 
ලොක්කෝ අපි ලොක්කෝ අපි..... හෙට රටට 

(කුමාරයෙක් සේ සැරසුණු අයෙක් ඉදිරියට එන්නේය )
ලොක්කෝ අපි ලොක්කෝ අපි අද ගමට 
ලොක්කෝ අපි ලොක්කෝ අපි හෙට රටට 

(ළමයා 1 ඒ දෙස බලා සැනසුම් මදහසක් නගන්නේය )

(එක විටම රතු කමිසයකින් සැරසුණු කුඩා දරුවෙක් ඉදිරියට පනින්නේය . ඔහුගේ මුහුණේ පොන්ටිං රැවුලක් කළු පැන්සලකින්  ඇඳ  තිබේ .
ඔහු විත් අර බුරු පිරිස ඉදිරියෙන් සිට ගෙන අනෙක් පිරිසට මුහුණ ලන්නේය )

"පුංචි වුනත් හරිම සැරයි  ගම්මිරිස් ඇටේ ....සූස් සූස්  ගෑවා  නේද ගම්මිරිස් ඇටේ ...//"

(ළමයා 1 කලබල වෙයි . ඔහු මයික්රෆෝනයක් අත‍ට  ගෙන ඉදිරියට එයි . ඔහු පපුවට ගසා ගනිමින් 
ආවේගශිලිව ගයන්නේය )

"කුඹි ගුලේ තියෙන බලේ , දිමි ගොට්ටේ තියෙන බලේ , පුංචි අපේ ලොකුම බලේ ...
සමගි බලේ , සමගි බලේ 

හතුරු බලේ ගියා කැලේ .. අපේ බලේ සමගි බලේ "

(ඔහු බුරු පිරිසට ලංවී මතක් කර දෙයි . ඔහු නැවතත් ගයයි )

"හතුරු බලේ ගියා කැලේ .. අපේ බලේ ..." ඔහු මයික්‍රෆෝනය බුරු පිරිස දෙසට යොමු කරයි 

"සමගි බලේ "   ඔවුහු අත්  ඔසවා කෑ  ගසත් 

බුරු පිරිස ගයති 
"කුඹි ගුලේ තියෙන බලේ , දිමි ගොට්ටේ තියෙන බලේ , පුංචි අපේ ලොකුම බලේ 
සමගි බලේ , සමගි බලේ "

ළමයා 1:  "කවුද ..කවුද... දැන් ලොක්කෝ "

බුරු පිරිස මහා හඬින්  : "අපි මයි අපිමයි දැන් ලොක්කෝ "

ළමයා 1: (අනෙක් පිරිස දෙසට හැරෙමින් හඬ බාල කර,  රහසින් මෙන් )

"කවුද.... කවුද.... දැන් ලොක්කෝ "

පිරිසත් (රහසින් මෙන් ): "  හි හි හි ...අපිමයි.... අපිමයි... තවමත් ලොක්කෝ "

"හු හු හු හු ....හු හු හු හු .."  සියල්ලෝම හූ  කියමින් පිටව යති .

බුරුවෙක් මෙන් සැරසුණු එක දරුවෙක් , මංමුලාවූ සෙයින් හිස කසමින් වේදිකාවේ මැද  සිටගෙන සිටි . වේදිකාව අඳුරුවී,  ස්පොට්  ලයිට් ආලෝකය ඔහු වෙත පමණක් යොමුවී ඇත . තිරය වැසේ