08 March 2014

කොහා පැටියා

බස් රථයෙන් බැස  ගත්  ආනන්ද,  ගුරු පාර දිගේ ඔහේ ඇවිදින්නට පටන් ගත්තේය. 
දහවල් ගෙදරින් ලැබුණු දුරකථන ඇමතුම ඔහු මනස අවුල් කර ඇත්තේය . නොදැනම ඔහු  ගේට්ටුව අසලටම පැමිණ ඇති බව දුටුවේ හිස ඔසවූ පසුවය .

බයිසිකලයේ නැගී පිම්මේ ආ සමරේ මදකට වේගය අඩාල  කර ඔහු වෙත පෑ සරදම් සිනහවද . වට්ටියේ ඉතිරිවූ අන්තිම කතුරුමුරුංගා මිටිය විකුණා ගැනීමට තැනු  කීර  අම්මගේ කරච්චලයද , සේයාවක් මෙන් ඔහු මනසේ රැඳී ඇත .


ගේට්ටුව අගුල ඇර  ගෙන ඇතුළුවත්ම , ඉස්තෝප්පුවේ කුලුනකට බර දී මග බලාන  සිටින නන්දා  ඔහු නෙත ගැටිණි . මළහිරු රැස් , ඈ  චායාව,  දිගට,  ඉස්තෝප්පුවේ සිත්තම් කර ඇත . විවාහ වූ අලුත් ඈ,  මේ ලෙසම , ඔහු සවස එනතුරු මග බලාන හුන්නාය . ඔහු කන්තෝරුව අසල වඩේ  කරත්තයෙන් ගෙන එන පරිප්පු වඩේ දෙක සහිත කඩදාසි උරය  මහා සම්පතක් ලෙස උදුරා ගත්තාය .

නන්දාත් වයසට ගිහිල්ලා ... අමුතු සිතුවිල්ලක් සිත  මුල්ලක ඉපදී , සිත පුරාම මහා කාන්සාවක් සේ පැතිරිණි 

"කෝ ආවද පුතණ්ඩියා ? " ඔහු ඇසුවේ , තම අත  තිබු මල්ල ඈ  වෙත යොමු කරන ගමන් ය 

" ඔන්න වෙනදා වගේම කාමරේට රිංගා  ගෙන දොර වහ ගත්තේ " ඇය  දිගු සුසුමක් හෙළුවාය 

"අනේ තාත්තී ...ඇයි  අපිට මෙහෙම වෙන්නේ ?" ඈ  ඇසුවේ පිළිතුරකට වඩා පිළිසරණක් බලාපොරොත්තුවෙන් යැයි  ඔහුට දැනුනි . . ඈ  කලකින් ඔහුට "තාත්ති " කියා අමතා නැත . 

ඇයට  ඉකි ගැසිනි .

ආනන්ද ඉදිරියට විත් ඈ  සුරත අල්ලා  ගත්තේය . ඈ හිස ඔහු ලැමට  තුරුළුකර ගත්තේය . නන්දා සිතේ සිරකර  හුන් කඳුළු , ඔහේ දෝරේ  ගලා යන්නට ඉඩ හැරියාය .

ඔහු කලකින් ඇයව  මෙසේ තුරුළු කරගෙන නැත . හේ , ඈ  හිස තවත් පපුවට ලං කර ගත්තේය .

______________________________________________________

සුගත් රෑ කෑම  මේසයේ හිඳ ගෙන පිඟානටම මාළු කෑලි  දෙකක්ම බෙදා ගත්තේය . නන්දා  ඔහු පිඟානේ  පාන් පෙති දෙකක් තබද්දී පිටි අල්ලෙන්  කඳුළු පිසිනවා වත් , ආනන්ද  තම හිස් පිඟාන දෙස ඔහේ බලා සිටිනවාවත්  ඔහුට නොපෙනුණි .

"අද හෙන්රි වීරසිංහ කියලා මහත්තයෙක් ගෙදර ඇවිත් තියෙන්නේ "ආනන්ද බැරෑරුම් හඬක් මවා ගෙන මුල් පිරීය .

"අර මොකටද එයා මෙහෙ ආවේ ?" 

"ඇවිත් තියෙන්නේ උඹේ වීර කම ගැන කියලා යන්න , උඹ කරලා තියෙන්නේ ලොකු වීරකමක් ...!!!!" අසීරුවෙන් මැඩ  ගෙන හුන් හැඟීම් ආනන්ද ගේ හඬට  මුසු වන අයුරු නන්දාට  හොඳින් දැනුනි .

"ආ ඒකද  " සුගත් මාළු හොදි වල  පොඟවා පාන් කෑල්ලක් කටේ හුවා ගත්තේය 

"ආ ඒකද  ....!!!? "

" අපි දෙන්නම වැඩිහිටියෝ . ඉතින් එක අපි දෙන්නගේ තීරණයක් . අනික මම ශානිව බඳිනවා නේ කොහොමත් "

"පුතේ !!!...." නන්දාගේ  හඬේ  මහා වේදනාවක් රැඳී තිබිණි . .. එය වැටහුනා දෝ  , මුළු පරිසරයම හූවට පිම්බාක් මෙන් නිසල විය . අමාවක රැයේ  වැයූ  රැහැයි  ගීයද  නතර වූ සෙයකි .

" පුතේ ... අපි මහන්සිවෙලා උඹව හැදුවේ මේකටද ?!... මාත්  ගෑණියෙක් ..ගෑණුන්ගේ  ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා පුතේ ..."

"සෙල්ලමක් නෙමෙයි අම්මේ , මම ශානිව බඳිනවා , බැඳලා ගෙදර ගේනවා , එතකොට ඔක්කොම ඉවරයිනේ

"මිනිහෝ !! උඹට කිසි ලැජ්ජාවක් නැත්ද .." ඉවසීමේ වාන් දොරටු පිටාර  ගැලුවේය .
" උඹ මේ කරපු වැඩේ .. අපේ මූණෙත් දැලි ගාලා .. "ඒ දැරිවි , ඒකිගේ දෙමාපියෝ , අපි ..කොහොමද ලෝකෙට මුණ දෙන්නේ .."
ඒ වචන පිට කරත්ම , කුමක්දෝ මහා ගින්නක් තම ආත්මය දවාලනවා මෙන් ආනන්දට දැනුනි 


"අර මනුස්සයා  ඇඩුවා ...එකම දුවලූ  , බඩේ දරුවෙක් එක්ක කොහොමද පෝරුවට නගන්නේ කියලා ඇහුවා "

"තාත්තේ මේ නිකන් බුදු ටෝක් දෙන්න එපා , බොක්කේ දඩ මස් තියාගෙන . අර සමරේ මාමා කිව්වේ ...අප්පා වගේමයි පුතාගේත් වැඩ කියලා ... තාත්තලා බඳිනකොටත් මම මාස තුනක් බඩේ ලූ නේද ? "

ආනන්දගේ මුළු ලොවම බමනය වන්නට විය .

මංගල රාත්‍රියේ , පුස්සැල්ල තානායමේ කාමරයක , මගුල් සාරිය පිටින්ම නන්දා  ඔහු දෙපා මුල වැඳී වැටෙනවා ඔහුට මැවී  පෙනුනි .
" මම ජාති ජාතිත් නයයි ඔයාට , මේ අවලංගු වෙච්චි මාවයි , මේ අහිංසකයගේ අනාගතේටයි  කර ගැහුවාට " 

"නැගිටින්න නැගිටින්න .." ඔහු නැඹුරු වී ඈ දෙවුරින් අල්වා සිටවුවේය . ඈ  කොපුලේ රැඳුනු කඳුළු උණුහුම , නැවතත් ඔහු ඇඟිලි තුඩට දැනෙන්නට මෙන් විය.

"ඔයාට අනුන්ගේ පවකට කර ගහන්න උනානේ ..මං  වගේ පව් කාරියක් ..."

"චටාස්  ..."  රෑ  නිහැඬියාව පුපුරු ගස්වන අකුණු වන හඬින්  ආනන්ද නැවත වත්මනට ඇද  ගත්තේය ..සුගත් තම කම්මුල අල්ලාගෙන සිටින්නේය . ඔහු දෑසේ ඇත්තේ වික්ෂිප්ත බැල්මකි .

" වහපන් කට ..උඹ මේ මනුස්සයට ඔහොම කතා කරලා තව පව් පුරවා ගන්න එපා " නන්දාගේ  හඬ වෙවුලුම් දුන්නාය 

හේ සියොලඟම හිරි වැටි ගොසිනි
"නන්දා .."
යයි කෑගැසීමට තැතනුවත්  , ඒ වචන උගුරේ සිරවෙනවා ආනන්දට දැනුනි 


22 comments:

  1. සාම්ප්‍රදායික චින්තනය සහ යථාර්ථය අතර ගැටුමක්. ලස්සන කතාවක්. බොහොම ස්තුතියි ඔබට මෙවැනි නිර්මාණයක් අපට දීම පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. තරුණ කාලේ විප්ලවීය අපි වයසට යනකොට සාම්ප්රදායික වෙනවා කියලත් මට හිතුනා

      Delete
  2. කලහොද පස්සෙන් එලවනවලු නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ආනන්ද කිසි දාක එහෙම නොසිතාවි

      Delete
  3. 'කොහා පැටියා' කියන්නේ ඇයි කියලා තේරුනේ කතාව අවසානෙදි. බොහොම හිතට වැදුනු කතාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අනුන්ගේ කූඩු වල හැදෙන කොහා පැටව් ...

      Delete
    2. හරියටම ගැලපෙන්නේ නැහැ නේද? මේක half cast කේස් එකක් නේ. නැත්තම් නන්දා කොහෝ කිරිල්ලත් අනුංගේ කූඩුවක ඉන්නවා කියන එකද ඔබ අදහස් කෙරුවේ?

      Delete
    3. ඒකත් හැබෑව . හැබැයි මම අදහස් කලේ කුඩුවේ හිමිකරු ආනන්ද කියලයි . කූඩු කිව්වම වෙන මානයකටත් යනවා නේද , නිකන් හිර වෙලා කූඩු වෙලා කියන තේරුමින් . ස්තුතියි එච්චර දුරට හිතීම යොමු කලාට .

      Delete
  4. හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      Delete
  5. හිතට වදින කතාවක්. මම හැම තිස්සේම හිතනවා ඇයි මිනිස්සු (දෙමව්පියන් දරුවන් අතර පවා )තමුන් ගැන එක විදිහකටත්, තවත් කෙනෙක් ගැන තවත් ක්‍රමේකටත් හිතන්නේ කියලා. මේක වයසට යනකොට සාම්ප්‍රදායික වෙනවා කියන තැනින් එහාට ගිය ගැටළුවක් කියලා මම හිතන්නේ. අපි හිතන විදිහ වැරදියි. අපේ මිනිසුන්ගේ චින්තනය ආත්මාර්ථකාමියිද?

    ReplyDelete
    Replies
    1. අරූ මට ඔබ කියන දේ තේරෙනවා . එත් සමහර වෙලාවට තමන් කරපු වැරදි , විඳවපු දුක තම දරුවන් විඳිනවට අකැමැති නිසාද කියලත් හිතෙනවා. අපි ට අමතක වෙනවා අපේ දරුවනුත් ජිවිතයේ වැරදි කරාවි , දුක් විඳීවි කියලා .

      ආත්මාර්ථකාමය , හැම ප්‍රර්තකාමයක් පිටුපසත් ඇති බව මගේ විශ්වාශයයි . ඔබ එකඟ ද මන්දා

      Delete
  6. /* වහපන් කට ..උඹ මේ මනුස්සයට ඔහොම කතා කරලා තව පව් පුරවා ගන්න එපා " නන්දාගේ  හඬ වෙවුලුම් දුන්නාය  */

    තාත්තා නොකියා මනුස්සයා කීම නන්දා නොසිතාම කළ පාවා දීමක්?

    අනෙත් අතට තම්න් ගේ පියා කවුදැයි වැරදි අදහසකින් ජීවත් වීමත් ලොකු පවක් නේ?

    ReplyDelete
  7. ක කා , ඔබට එතැන අහු වීම ගැන මම සතුටු වෙනවා . හැබැයි පාවා දීමක් කියන අර්ථයෙන් නෙමෙයි මම එහෙම ලියුවේ . හැබැයි උවමනාවෙන් .

    පිං පව් කියන්නේ හරිම අමුතු දෙයක් නේද . පව් කරන එක කොහොමත් ලේසියි .

    ReplyDelete
    Replies
    1. විටෙක ඔබට හිතෙන්නේ නැත්ද , දන්නා අමිහිරි සත්‍යය (තිත්ත ඇත්ත )නොදැන සිටියා නම් කොච්චර හිතට සැහැල්ලුද කියා... එහෙම බැලුවහම ?

      Delete
  8. ඇත්ත නොදන්න අය වගේ දෝෂාරෝපන කරද්දී ඉතින් එන සිතුවිල්ල මොන වගේද කියලා හිතා ගන්න පුළුවන්.. විශේෂයෙන්ම පවුලේ කෙනෙක්ගෙන්.. ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. පුතෙක් හැටියට නොදැනුනු දේ පියෙක් හැටියට දැනෙන්න ගන්නවා.

      Delete
  9. මට නම් ඇත්තටම දුක හිතුණේ සුගත් ගැන. දරුවෙකු පිළිසිඳ ගැනීම බොහෝ විට ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයක් වෙන්න ඇති. නමුත් ඉන් පසුව ඔහු ගන්නා තීරණය නිවැරදියි නේද? එම තීරණය ගැනීමට තමන්ගේ දෙමාපියනුත් විවාහ වී ඇත්තේ තමන් පිළිසිඳ ගැනීමෙන් පසුව යන "ඔහුගේ දැනුමත්" හේතුවෙන්න ඇති...

    ReplyDelete
  10. ආනන්ද වගේ මනුස්සයන්ගේ හොඳකමත් සමරයා වගේ ඉන්න තවත් මිනිස්සු නිසා හෑල්ලු වෙලා

    ReplyDelete
    Replies
    1. කලූ සුදු මිනිසුන් නොමැත. ඇත්තේ අළු මිනිසුනි

      Delete
  11. මම දෙපාරක්ම කියෙව්වා කතාව. එතකොට තමයි ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ අවබෝධ වුනේ. මම කාගෙවත් පැත්තක් ගන්නේ නෑ. සුගත් ආනන්දගේ පුතාම වුනත් ඔහොම දෙබසක් යන්න පුලුවන් පවුල් සබඳතාවයේ තරාතිරම අනුව.

    ReplyDelete

Have commented