10 October 2015

කොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හෙවත් Boy's Town





මෙය මේ පින්තුරයේ සිටින අය  ගැන සටහනක් නොවේ ය . එනමුදු මේ පින්තුරය මෙහි ඇතුලත් කරන්නේ , ඉන් තොර ලොවක් ඇති බවත් , මේ දකින දේ ඊට පුළුල් සංසිද්ධියක කොටසක් දැයි පුළුල් කතිකාවක් ඇති කිරීමත් උදේසාය .

කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් සටහන පටන් ගනිමි . වසර 2000- 2005 අතර ලොවේ ජනයාගේ දළ උපරිම ආයු කාලය අවු 66 විය .  එය 2025-2050 වෙද්දී අවු 80 දක්වා වැඩිවේ යයි අපේක්ෂිතය . මීට අමතරව ළදරු මරණ සංඛ්‍යාව අඩුවීම , උපත් මරණ අනුපාතයේ වෙනස්කම්  හා වෙනත් සාධක , ජන සංයුතිය වයස් ගත වීමේ ප්‍රවනතාවයක් දක්වා විකාශනය වේ . ලංකාවේද මේ ප්‍රවනතාව නැතැයි සිතීමට හේතුවක් නැත . පහුගිය ජන සංගණනය අනුවද , මුළු ජනගහනයෙන් 30% පමණ වයස 50ට වඩා වැඩිය . ඒ කියන්නේ කොල්ලෝ අඩුවී අන්කල් ලා වැඩිවේ .

කොල්ලන්ට  බොහෝ විට ඇත්තේ දිස්නේ ගහන , ෂෝ ඕෆ්  හීනය . එහි වරදක් නැත . අඳින්න , කන්න , බොන්න , සැන්ට් පව්ඩර් දාන්න , හොඳ ඔරලෝසුවක් , බ්‍රේස්ලට් එකක් දාන්න (bling bling ). , කිරි ටොයි වාහනයක් පදින්න , එලකිරි කෑල්ලක් ( මගේ වදන් වල political incorrectness ගැන සමාවන්න ) කරේ එල්ලන් , ටොයි ජොබ් එකක් කරන්න ... මේවා කොල්ලන්ගේ හීනය . 
නමුත් වයසක මිනිසුන්ගේ හීන එහෙම නොවේය  ( මා මේ කියන්නේ නෙක්ටෝ ඔරේජන් බාර්ලියක් බීමේ අහිංසක නොස්ටලජික් ෆැන්ටසියක සිට කොට කලිසම් ඇඳගෙන  මැදි වයසේ පප්පලාගේ බැක්  ටු ඉස්කූල් (back  to  school ) වැනි 
නොස්ටලජික්පෝර්න් විගඩම් ගැන  නොවේය) . වයසක මිනිසුන්ට ඇත්තේ සැනසුම , නිස්කලංක බව , ස්ථාවරත්වය  හා ලෙගැසිය පිලිබඳ හීන ය.

ඒත් .... ලංකාවේ සමාජයට ඇත්තේ මොන වගේ හීනද ?

ඕල්ඩ් බෝයිස් හමුවකට තට්ටේ වැහෙන්න ජෙල් ගා කොන්දේ පීරූ  අයෙක් අවුත් තමන්ගේ ටොයියා වාහනේ යතුර , ස්මාට් ෆෝන් එක ,  හැමෝටම පෙනෙන්න මේසය උඩ තියන්නේ ..... ඒ කොලු සිහින වයස නොසලකා ඔඩු දුවා .... ඒවා ලඟා කරගත් විට උදම් අනන්නද ?... මාලක සිල්වා වේවා, නාමල් වේවා .... කොලු සිහින උපරිමයෙන් විඳින උන් දකින විට අපේ හිතේ  බුර බුරා නැගෙන කෝපය .. අපට ලඟා කරගත නොහැකි වූ , ඒත්  උන් ලබා ගත් හෙයින් වූ ඉරිසියාවක්මද ?....

(මෙය ධනවාදී සමාජයක ආවේනික ලක්ෂණ යයි අයෙක් කියන්නට පුළුවන . ඒ ගැන මගේ විවාදයක් තිබුනද , මගේ දේශපාලන දැනුමේ තරම දන්නා මම , මට වැරදිය හැකි බවද දනිමි .
 ඇතැම් විට මාස්ලෝ ගේ අවශ්‍යතා ත්‍රිකෝණය (මෙය යල් පැන ගිය සංකල්පයක් යයි මා විශ්වාස කලත් )  ඇසුරෙන් මීට හේතු දැක්විය හැකිව ඇති. මම හේතුව දක්වන්නට නොයා නිරීක්ෂණය පමණක් දක්වමි .) 

සිහින ගැන පමණක් නොව අනෙක් දේවල් ගැනද සිතමු . උදාහරණයක් ලෙස සමාජයේ (පහසුවෙන් ) විකිණිය හැකි සංකල්පයන් ගැන සිතන්න . කොල්ලන් ආකර්ෂණය වෙන්නේ , ට්‍රෙන්ඩ්ස් වලටය. ප්‍රජාතන්ත්‍රවාදය වේවා , සමාජවාදය වේවා , යහපාලනය වේවා , විප්ලවවාදය වේවා , පැකින් කඩපු ගමන් එන අලුත් සුවඳට කොල්ලන් වසඟ වේ . ඒවායේ පවතින සාක්ෂතාව, ගැඹුර , උචිතත්වය ගැන එතරම් නොසිතති .

නීතිය ගැන කොල්ලන්ගේ ප්‍රතිචාරයද ක්ෂණික නූඩ්ල්ස් ගණයේය. ඇහැට ඇහැක් විනා , ඉන් ඔබ්බට නොසිතති.

මෙතෙක් ලියාගෙන ආ මම නැවතී , අර පෝස්ට්  එකේ මුලින්ම ලියු වාක්‍ය නැවත කියවමි . මේ සටහන ඒ පින්තුරයට සම්බන්ධයක් නැතුවාම නොවේ යයි මට සිතේ . සමාජයක් හැටියට වයසට යත්ම එය මුහුකුරා යා යුතු යයි , පරිනත විය යුතු යයි , නිවී තැන්පත් විය යුතු යයි සිතමි .

වන්දනා ගමනක් යනවිට , නඩේ ගුරා ගෙනියන්නේ ඔහුගේ අත්දැකීම් හා පරිනත බව උදෙසා මිස ඔහුගේ තාරුණ්‍ය හා ජවය උදෙසා නොවේය .  නමුත් අපේ රට යන වන්දනාවේ නඩේ ගුරා ( මේ එක පුද්ගලයෙක් ගැන නොව පරපුරක් ගැන ය. අපේ පරපුර ගැනය ) කොල්ලෙක් ද  නැත්නම් ඊටත් වඩා නරක (අලුත් අදහස් වත් හිතේ පැන නොනගින ) කොල්ලෙක් වෙන්නට හදන අංකල් කෙනෙක් දැයි මට සිතේ.

මේ සටහන අවසන් කිරීමට වාක්‍යයක් කල්පනා කරමි. ඒත් එවැන්නක් ඔලුවට එන්නේ නැත . Grow up  Sri  Lanka  කියා දැනට ලියා තබමි 

පලි : මෙය කාලයක් තිස්සේ මගේ සිතේ කැකෑරුන සිතුවිල්ලකි . ඔබ මෙයට එකඟ නොවෙන්නට පුළුවන. අලුත් අලුත් දේ නොසිතා ප්‍රගතියක් නැතැයි කියන්නට පුළුවන. නමුත් මෙය ඊට වඩා ජීවිත දැක්ම පිලිබඳ , ජීවිතයේ ප්‍රමුඛතා පිලිබඳ සිතුවිල්ලකි  . මෙය වෙන කෙනෙකුට ඇඟිල්ල දික් කිරීමක් වෙන තරමටම,  ස්වයං විවේචනයකි . පොඩි දරුවෙකුට young  man යයි අමතන  (මැදි වයසට ළඟ ) මමද, සම වයසේ අය "එළ  කොල්ලෙක්" කියා හැඳින්වීමට පසුබට නොවෙමි. අර කෙනෙක් කියා ඇති පරිදි වයසට යාම අනිවාර්යය , ඒත් පරිණත වීම තෝරා ගැනීමකි ; මිනිසෙකුට වේවා , රටකට වේවා  

23 comments:

  1. සමාජයක් හැටියට වයසට යත්ම එය මුහුකුරා යා යුතු යයි , පරිනත විය යුතු යයි , නිවී තැන්පත් විය යුතු යයි සිතමි//

    එකඟයි.

    ReplyDelete
    Replies
    1. වයසට යාම අනිවාර්යය , ඒත් පරිණත වීම තෝරා ගැනීමකි

      Delete
  2. Grow up Sri Lanka!

    අර බ්‍රේස්ලට් එකක් දාන්න කියල 'Bling Bling' කියල ලියුවේ ඇයි.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. බ්ලින් බ්ලින් තමා

      Delete
  3. මේ පොඩි එකාට ඕවා තේරෙන්නේ නැතිවාය!

    ReplyDelete
    Replies
    1. හිතේ තිබ්බ දේ එක පාරට ලියා ගෙන ගිහින් පබ්ලිෂ් කළා . පස්සේ කියෙව්වම පොඩි පැටලිවිලි ගතියක් තිබ්බා . පොඩ්ඩක් ආයෙත් පොලිෂ් කළා . දැන් කොහොමද ?

      Delete
  4. මෙයා දැන් පෙන්ෂන්නේ.
    හෙහ්.. බරපතල අපරාධකාරයෝ ගෙනියනකොට වගේ අරන් යද්දි තාරුණ්‍යය වෑහෙනවා.පව් තමා ඉතින් ඒවා සැප කියලා හිතනවානම්

    ReplyDelete
    Replies
    1. ...සැප කියලා හිතනවානම් .....

      වරදත් ඒකම නොවේද

      Delete
  5. //වයසට යාම අනිවාර්යය , ඒත් පරිණත වීම තෝරා ගැනීමකි // මේ කියමන ඇරුණම අනිත් සටහන් හරි හමන් නිගමනයක් දෙන්නේ නැති නිසා හිතන්ඩ පටන් ගත්තා

    ReplyDelete
    Replies
    1. එක දිගට ලියාගෙන ගියා තිලකේ , ගැලපීම අඩු ඇති . කියන්න ඕනේ වුනේ සමාජයකටත් වයසක් ඇති බව

      Delete
  6. මහින්ද මහත්තයගේ මම දකින තවත් කැමති දෙයක් ගැනයි ලියලා තියෙන්නේ. මම නම් හිතන්නේ මිනිස්සු මහළු වෙන්නේ ගතින් නොව සිතින් කියලයි. ගම් වලත් කොල්ලෝ එක්ක ඔට්ටු වෙන්න පුළුවන් වයසක ඩයල් ඕන තරම් ඉන්නවා. ඇත්තටම කොල්ලන්ට උන් එක්ක හැරෙන්නවත් බෑ. මහින්ද මහත්තයා පන්සල් යන්නේ ෂෝ එකට මිසක්, එතන ඇත්තක් තියෙන නිසා නෙමෙයි. එහෙනම් ඉතින් අර ඡන්ද කාළේ පන්සල් ගියපු විදියට අදත් යන්න එපාය.

    මම දන්න විදියට උන්නැහේ ඕමාර් කයියාම ඉහලින්ම අදහන කෙනෙක්. බටහිර රටවල සුද්දො සුද්දියොත් එහෙමයි. ලෑටස් හෙයාර් කට් ගහලා ලෑටස් ඉට්ටයිල් එකට ඇඳලා කරලා කොල්ලෝ කෙල්ලෝ වගේ ඉන්නේ. මම නම් ඒකට පට්ට කැමතියි. මම කැමතිත් එහෙම ජීවත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. එකගයි..
      ගොඩක් දේවල් කියන්න ලොකු අයිඩියා එකක් නැතත් එල ද බ්‍රා ලිපියක්.

      Delete
    2. මාතලන් , මගේ ලිවීමේ දුර්වලතාවය තමා . යාවත් කාලීන වීම හා පරිනත නොවීම දෙකක් කියලයි මම හිතන්නේ . යාවත් කාලීන වීමට කිසි සේත්ම විරුද්ධ නැත්තෙමි

      Delete
  7. You can only be young once. But you can be always be immature like me. :D

    The first fifty years of childhood is the hardest.

    If you haven't grown up by the age of fifty, then no need to do so.

    The above are some quotes - god knows who said - but flooded into my immature mind.

    ReplyDelete
    Replies
    1. Beg to differ . I think there is a difference between keeping your inner child alive and being immature ...

      Delete
  8. //වයසට යාම අනිවාර්යය , ඒත් පරිණත වීම තෝරා ගැනීමකි ;// සහතික ඇත්ත.........

    ReplyDelete
  9. ඇත්තටම තරුණ විදිහට සිටීම සහ සිතීමත්, තමන් ගැන අනුන්ට ඇත්ත නොවන හැඟීමක් දීමට එසේ කිරීමත් දෙකක්. මහින්ද කරන්නේ ඉමේජ් බිල්ඩිං. ෆොටෝ වලට පේන්න දිවීම, වේදිකාවට පැනීම, පන්සල් යාම වගේ දේවල්. පූටින් එයාගෙ පළමුවෙනි හෝ දෙවෙනි ජනාධිපතිවරණෙදි ශර්ට් එකක් නැතුව ව්‍යායාම කරන පින්තූර දැම්මා. ඊට පසුව ඔබාමාත් බාස්කට් බෝල් ගැසීම වගේ දේවල් පාවිච්චි කලා. අර හිමින් ඇවිදගෙන යන රනිල්ට පණ නැහැ ෆොටෝ වල දුවන මහින්ද පණ ඇති නායකයා කියල පෙන්නන්න. සුදු කොණ්ඩෙ තියෙන රනිල්ට වඩා කළු කොන්ඩෙ තියෙන කෙනා තරුණ ජවය තියෙනවා කියලා පෙන්නන්න. නළුවන්ට, ක්‍රීඩකයින්ට චන්දෙ දෙන රටේ ඒවාට අහුවෙන අයත් ඉන්නවා. ඒඋනාට ඒවා ප්‍රෝඩා මිසක් වෙන මොනවත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔහු විකුනන්නේ සමාජය මිලදී ගන්න සුදානම් , ඉල්ලන දේ නේද කියලා හිතෙනවා

      Delete
  10. //උදාහරණයක් ලෙස සමාජයේ (පහසුවෙන් ) විකිණිය හැකි සංකල්පයන් ගැන සිතන්න . කොල්ලන් ආකර්ෂණය වෙන්නේ , ට්‍රෙන්ඩ්ස් වලටය. ප්‍රජාතන්ත්‍රවාදය වේවා , සමාජවාදය වේවා , යහපාලනය වේවා , විප්ලවවාදය වේවා , පැකින් කඩපු ගමන් එන අලුත් සුවඳට කොල්ලන් වසඟ වේ . ඒවායේ පවතින සාක්ෂතාව, ගැඹුර , උචිතත්වය ගැන එතරම් නොසිතති .//
    ------මේක නම් ඇත්ත ද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ගරු කරමි .... එය තරුණ කම යයි මම සිතමි ... වරද බැලන්ස් නැතිවූ විටයි

      Delete
  11. අපේ තාත්තලා නාකිය කියා අපි ඒ කාලේ හිතුවාට දැනුයි තේරෙන්නේ ඒ ගොල්ලෝ කොච්චර තරුණ වියේද ඉඳලා තියෙන්නේ කියලා, එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් .. කාලයක් තිබ්බලු යුරෝපයේ මිනිසුන්ගේ ආයු කාලය 45ක් වෙච්ච . එතකොට අවුරුදු 35 කියන්නේ පට්ට නාකි .
      එකේ අනිත් පැත්ත . ගෙදර අවුරුදු 70ක සීයා මෙහෙම ඇඳන් , මේ වගේ වැඩකළා නම් , නාකි විසේ .....

      Delete

Have commented