27 December 2017

හැපී ක්‍රිස්ට්මස් සේල් .. දෙයියෝ ලාබයි

නත්තල් දවස හින්දා මුළු  පල්ලියම පිරිලා . මිසිස් සිරිවර්ධන බොහොම අමාරුවෙන් පිටිපස්සේ බංකුවක අයිනේ ඉඩක් හොයා ගත්තා ඉඳ ගන්න . පාස්ටර්ගේ මුණ පෙන්නේ නැති වුනත් ඔලුව උඩම ස්පීකරේ හින්දා කටහඬ නම් ඇහෙනවා ... ක්රීන් ගාන කොට තමයි ටිකක්  අමාරු 

***
එක දිගට සිතිවිල්ලක හිත පවත්වා ගන්නට දැන් සිරිවර්ධන නෝනාට අමාරුයි . මේ ලෙඩේ හැටි 

නිතරම මුළු ඔලුව පුරාම මකුළු දැල් බැඳිලා වගේ ..ඒත්  හිටපු ගමන් කොහෙන්දෝ මතුවෙන හීන් වේදනාවක් වගේ , මතකයක් ඔලුව පුරාම පැතිරෙන්න ගන්නවා 

***

බිත්ති පොඩ්ඩක් හෝදා ගන්නවත් ඕනේ මැටිල්ඩා ව ගෙන්න ගෙන .. මොනවා වුනත් ක්‍රිස්ට්මස් නේ ... ඉස්සර නම් , මිස්ට සිරිවර්ධන ඉන්න කාලේ , හෝදා හෝදා හිටියේ නෑ , පේන්ට් කෝට් දෙකක්ම ගානවා ... හැබැයි අවුරුද්දට ...  ඒ කාලේ ක්‍රිස්ට්මස් නෑනේ අපිට 

මකුළු දැල්  

****
.. ආයෙත් වේදනාව ...

ආ සිරිවර්ධන නෝනා ....  ඔන්න බඩු ගෙනාවා .....

එහෙමයි .. කීයද හාමුදුරුවනේ ගාන 

රුවන්වැල්ල  හාමුදුරු නමක් තමා  කරන්නේ ... තුන් වරුවක් කියපු පිරිත් පැන් බෝතලේ පන්සීයයි ... එතකොට හත්වරුව කියපු එක තියෙනවා අටසීයයි .. ළමයාගේ විභාගෙට කිව්වා නේද ...හොඳම දේ ළමයින්ට නේ නෝනා ...අටසීයක් දෙන්න ... ඔන්න ඔය ටීපෝ එක උඩින් තියන්න .... හා හා තෙරුවන් සරණයි 

****
මකුළු දැල්  ...මකුළු දැල්  

ඔන්න ආයෙත් වේදනාව  ...

උපත්තියෙන්ම මිනිහෙක්ට ආගමක් බෙල්ලේ එල්ලනවා ... ඊට පස්සේ ඒකට මුලුජීවිත කාලේම ප්‍රාණ ඇප  කාරයෙක් වෙනවා ...

මකුළු දැල්  

****
කල්‍යාණි, මේ අලුත් පාස්ටර් කෙනෙක් ඉන්නවා .. හැන්ඩ්සම් යං පාස්ටර් කෙනෙක් .. අන්ධයන්ගේ ඇස් පාදනවලු , කොරුන් ඇවිද්දවනවලු. හරියට හීලින් එහෙමත් කරනවා .. ගෝඩ් එයට කෙලින්ම කතාකරනවලු . යමුද බලන්න ?

මකුළු දැල්  

 ***

ක්රීන් ... ස්පීකරේ විසිල් පාරක් ගහනවා 

"ඔබට සුබ නත්තලක් වේවා .. දෙවියන් වහන්සේ ගේ ආශීර්වාදය වේවා ...මෙතන ඉන්නවා නම් පිළිකා රෝගීන් , අඟහරුවාදා මගේ කැන්සර් හීලින් සර්විස් එකට එන්න , යනකොට සල්ලි ගෙවලා නොම්බරයක් අරන්  යන්න ."

...ආමෙන් ... මිසිස් සිරිවර්ධනට  කියවුනේ ටිකක් සද්දෙට . එහා පැත්තේ ඉන්න තරුණ කපල් එක හැරිලා බැලුවා
"අද මේ නත්තලේ , අපේ ජේසු සමිදුන් ඉපදුනු දවසේ , දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා , පව්කාර අපේ ගැලවීමට කැප කල දවසේ ...අපි දෙවියන් වහන්සේ වෙත කැප විය යුතුයි ...මම දෙවියන් ගේ නාමයෙන් ඔබට  අණ කර සිටිනවා අපේ මහා පල්ලිය සැදීමේ අරමුදලට ආධාර කරන ලෙස ... තව මිලියන 4ක් විතර අඩුයි වහලේ ගහන්න ...මතක තියා ගන්න 
මුලින්ම ඔබේ ධනය දෙවියන්ට , ඉන්පසු ඔබට .... දෙවියන්ව ප්‍රශ්න කරන්නේ පව්කාරයෝ ... පවින් මිදෙන්න 

මිසිස් සිරිවර්ධන හිමින් සැරේ , පර්ස් එක ඇරියා .. ත්‍රී වීල් එකට තියෙන පනහ විතරයි ... පෙන්ෂන් හම්බු වුනෙත් නෑනේ 
 .. සුසුමක් පිටවුනේ නොදැනීම . අර ජෝඩුව ආයෙත් හැරිලා බැලුවා
මොනවා කරන්නද , සල්ලි නිසාම ජීවිතේ විතරක් නෙමෙයි ස්වර්ග මාවතත් මිස් වෙයිද මන්දා 

***

පේමන්ට් එක මිනිස්සුන්ගෙන් පිරිලා .. එක එක වෙළෙන්දෝ එක එක දේවල් විකුනනවා .. කකුල ඇද ඇද ඇවිදින එක සෙනග ගොඩේ ලේසි නෑ . දෙතුන් දෙනෙක් ඇඟේත් හැප්පුනා .... ඈ ...ඒ මිනිහා මොනවද මේ කියන්නේ  .  එක්කෝ මට එහෙම ඇහුනා වෙන්න ඇති ... මිසිස් සිරිවර්ධන හිමින් සැරේ වෙළෙන්දාට ලංකලා . වටේට මිනිස්සු පිරිලා මොනවා විකුණනවද කියලා පෙන්නේ නෑ .. හැබැයි  සද්දෙට කියන දේ නම් දැන් ඇහෙනවා 

" හැපී ක්‍රිස්ට්මස් සේල් .. දෙයියෝ ලාබයි ... දෙයියෝ ලාබයි ...ක්‍රිස්ට්මස් සේල් "


පලි :
අසනීපයට උදව් කරන , නිසි කලට වැසි ලබා දෙන, අස්වැන්න ලබා දෙන  බහුදේව ආගම් වලින් , සර්ව බලධාරී ඒකීය  දෙවියන් ගැන විශ්වාසයකට සහ  දෙවියන් රහිත දර්ශන වලට මාරුවෙන කොට,  ඇතිවන හිඩැසට රිංගා ගන්නේ සාන්තුවරු . එතනින් පස්සේ හිමින් සැරේ සාන්තුවරුන් ව එතැනින් අයින්කරලා පූජකයෝ හිටගන්නවා අල්තාර්ය මත  . 


බැරිම උනාම තමන්ගේ දුක කියන්න අයෙක් සිටීම සමාජ අවශ්‍යතාවයක් එක අතකින් . අනෙක් අතට දුකම කලත්ත කලත්ත පීඩිත ත්‍රිල් එකක් ගන්නත් ඒ සංස්ථා/ ආයතන මරු . ඒකත් වැරදි  නෑ . ඔබ කැමති දෙවියෙක් ඇදහීමේ අයිතිය සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඔබ සතුයි 

ඒත් මෙහෙම මිනිස්සුන්ව මානසිකව වට්ටන, මිනිස්සුන්ව තමන්ගේ හිත්  අස්සෙම ලජ්ජා කරවන , බය පාවිච්චි කරලා මිනිස්සුන්ව අඩපන කරවන , මිනිස්සුන්ගේ ජීවිත, සිත්  ප්‍රාණ ඇපයට අරන්  කෝටි  ගණන් හම්බු කරන නයි තෙල් බෙහෙත් කාරයින්  නම් ..

 මිසිස් සිරිවර්ධනලා ,  පව් ඕයි..

13 comments:

  1. අම්මප.. පව් මිසිස් සිරිවර්ධනලා.. :/

    ReplyDelete
    Replies
    1. සත්‍ය කතාවක් ඇසුරෙන්

      Delete
  2. අම්මට සිරි ඒ..........ක

    ReplyDelete
    Replies
    1. අවාසනාවට සත්‍ය කතාවක්

      Delete
  3. දෙවියෝ බලන්නෙත් දැන් සල්ලි තියන මිනිස්සු දිහා විතරයි . සැබෑ නත්තල දැන් කොහෙවත් දකින්න නෑ. නත්තල බහුජාතික සමාගම් ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යොදාගෙන
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. සැබැ නත්තල කාලේකට තිබිලා නෑ කියලයි මට නම් හිතෙන්නේ

      Delete
  4. ඔය ක්‍රිතියානි හීලිං සර්විස් වලින් ලෙඩ හොඳ වෙන්නේ නම් නැහැ. ඒවුණාට එම සර්විස් වලට මුදල් අය නොකරන බවයි මගේ දැනීම.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක බොහෝදුරටඇත්ත. ඒත් සල්ලි වැඩියෙන්ගැවසෙන මෙහෙම තැනුත් තියෙන බව දන්නවා

      Delete
  5. අම්මප.. පව් මිසිස් සිරිවර්ධනලා.. *2

    ReplyDelete

Have commented