ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කටට දෙකට බත් එක ගිලලා , බැට් එක උස්ස ගෙන පාරේ ක්‍රිකට් ගහන්න ගිය කාලයක් තිබුනා .
මැච් එක මහා පාරේ . කෙලින් පාරේ, ගොරකා ගහට එහාට ගැහුවොත් හයයි . හරහා පාරක් එල්ල කලොත් ඉතින් විනාසයි කාගේ හරි වත්තක . ක්‍රෝටන් ඇල්බීසියා ගස් වලින් මායිම් වෙන් වෙච්ච ඒ දවස් වල, ගේට්ටු නැති නිසා , වත්තට ගිහිල්ලා බොලේ අරන් එන එක එච්චර වැඩක් නෙමෙයි . හැබැයි ඉබ්‍රහිම් අන්කල්ගේ වත්තට ගියොත් වැඩේ අමාරුයි. ගේට්ටුව වහලා , තාප්පෙන් පනින්න ඕනේ .හැබැයි ඒ වැඩේට නසීම් අයියා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් උනා .
ඒකට හේතුවක් තිබුනා . අර සින්දුවේ වගේ " ....ට උන්නේ එකම දුවයි "....අන්තිමේදී නසීම් ඒ කෙල්ලව බැඳලා ඒ ගෙදරම පදිංචි වුනා .
නැවත කතාවට එමු , නැත්නම් slow over rate වෙලා දඩයක් වැදෙන්න පුළුවන්
අපේ කණ්ඩායමේ ක්‍රිකට් හරියට ගහන්න පුළුවන් අය හිටියේ දෙන්නයි . අනිත් ඔක්කොම මං වගේය .
හැල්මේ දුවලා ඇවිත් දමලා ගහනවා බොලේ . කෙලින් වැටුනොත් හරි .
පන්දුවට පහර දෙන්න ගියාමත් ඇස් දෙක වහලා දෑත බදලා ගහනවා , වැදුනොත් හයයි . හැබැයි ගොඩක් වෙලාවට , the delivery completely defeats the batsman. ඉන් පස්සේ පලාතම දෙදරන හු හඬ .
.
මෙහෙම හිටපු අපිට එක දවසක් ආව චැලේන්ජ් එකක් , ලේන් දෙකකට එහා ටීම් එකකින් .
මුලින් අපේ කණ්ඩායමේ හැකියාව ලොවටපෙනීම ගැන අපේ හිත් වල පැතිරිච්ච ආඩම්බරය , අපේ ප්‍රතිවාදීන් ගේ දක්ෂතා ගැන වටින් ගොඩින් ආපු ආරංචි නිසා තුනී වෙන්න ගත්තා .
" ඉස්කෝලේ ටීම් එකට ගහන එවුනුන්ත් දෙතුන් දෙනෙක් ඉන්නවා ලු ".
දැන් මොකද කරන්නේ . අපි පුළුවන් තරම් පුහුණු වුනද , තරඟ දිනය ලං වෙන්න වෙන්න , මෙය නොකෙරෙන දීගයක් බව අපි කාට කාටත් තේරෙන්න ගත්තා .
" මොනවා වුනත් පැරදුනොත් නම් පාරේ ගිහින් හමාරයි , පුතෝ ".ඉතින් අපි සම්මත කර ගත්තෙමු සැලැස්මක් .
තරඟය දවසේ උදේ පාන්දර අපි ගියා පිට්ටනියට. හිතට දහිරිය අරන් හිටගත්තා පිටිය මැද , රුපු යුදට වන දස මහා යෝධයන් වගේ .
පැයක් , දෙපැයක් කාලය ගෙවී ගියා . ප්‍රතිවාදී පිල ආවේ නෑ .
එන්නේ කොහෙද , අපි ගියේ තරඟය තියේන පිට්ටනියට නොවෙන කොට .
ආපු එකේ , අපි පුහුණු වීමේ තරඟයක් ගහලා. අරලිය ගස් උඩින් , ටෙනිස් බෝල ප්‍රක්ෂේපනය කරලා . ප්‍රතිමල්ලවයන් නැතුව , තනියම පිට්ටනියක අපිම එවපු පුල් ටොස් පන්දුවලට හයේ හතරේ ඒවා නෙලලා , දවල් වෙද්දී ආපහු ආවා නොපැරදී .
දිනීම හා නොපැරදීම අතර මෙන්ම පැරදීම හා නොදිනීම අතරද ලොකු වෙනසක් ඇති බව මම එදින උගත්තෙමි .
පලි
මුලින් කෙල්ල කොල්ල හැටියට රඟ පාලා , ඊට පස්සේ කෙල්ලගේ අම්ම තාත්තා හැටියට රඟ පාලා , දැන් වෙන වෙන චරිත රඟ පානා ලලිතා ඇන්ටියි , කරුණාපාල උපාසක සීයයි , අනුන්ගේ මළ ගෙදර තමන්ගේ වගේ ඔරෙන්ජන් බාර්ලි බෙද බෙදා කරුණාව පෙන්නනවා .
ජාතිආලය අන්තර්ජාලයේ ලියනා වාක්‍යකට සීමා වෙද්දී , ජාතිවාදයද අන්තර්ජාලය පුරාවට පිළිලයක් සේ පැතිර යනවා .
අපි ? , මේ හැමටම විරුද්ද අපි . අපි ඉතින් , තනියෙන් පිට්ටනි වලට ගිහින් අපේම පුල් ටොස් වලට අරලිය ගස් උඩින් හයේ ඒවා ගහලා, පැරදුනේ නෑ කියලා හිත හදා ගන්නවා