31 December 2013

2013, 2014 අතර මැද කොමාව // 31st December 2013 post

440 train rides. Give or take 10  .  My year is intermittent by them. And I type this post on the last one for  2013. A post on the 31st December has been customary on Pinchpoints. 

There's something a special about 31st of December. People go home thinking about a new day , may be.
Thinking about the old problems. With new hope. Wishing for a new beginning
 .
The lady standing in front of me, holds the pole and keeps the plastic shopping bag on the floor. I peer in to it. There's some flowers and a purple teddy bear.  I wonder.

Time is like a stream one would say. No full stops. It just flows.
Yet we need full stops, or atleast commas , semi colons. And on a 31st we take a breather.
We draw in a long breath to our lungs fill and hold it for a moment.

 From the day we landed here we made a conscious decision to unclutter our lives. While we have wavered in our resolution a few times have manged to keep it up in some aspects . We have only three plates and three cups out in the house. One has been broken for months . And the others .. well they to are in a state that should be discarded . So today we bought three new plate . We will cook a milk rice tommorow from the old rice that has been in the house and we will eat in our new plates .

Such are new years .


_______________________________________________________________

හරියටම 440ක් . දුම්රිය ගමන් 440ක් අතරමැද මගේ 2013 අවුරුද්ද ගෙවිලා . 

දෙසැම්බර් 31දා  සටහනක් තැබීම මම පුරුද්දක් හැටියට කරනවා . මේ සටහන 2013 අවසන් සටහන මම සටහන් කරන්නේ වසරේ අවසාන දුම්රිය ගමනේ දී .

කෝච්චිය පිරිලා කලින් ගෙදර යන මිනිසුන් ගෙන් . මා ඉදිරියේ සිටගෙන සිටින කත , ඈ  අතේ තිබු ප්ලාස්ටික් මල්ල බිමින් තැබුවා . එය තුල මල් මිටක් හා දම් පාට සෙල්ලම් වලහෙක් . මා සිත කතන්දරයක් ගොතන්න පටන් ගෙන .

අපේ ගෙදර යන මග තියෙනවා තැනෙන ගොඩනැගිල්ලක් . එහි පකිස්තානු ඉන්දියානු , චීන කම්කරුවන් වැඩ . හැමදාම වැඩ ඉවර වෙලා  හෙල්මට් ටික පිළිවෙලට අඩුක් කරලා ගෙදර යනවා ඔවුන් . අද කලින්ම ගොඩ ගහලා හෙල්මට් ටික . හෙට මෙහෙ නිවාඩු . අනිද්දා ඇවිත් දා ගනියි  ඒ තොප්පි ආපහු  .

කාලය ගඟුලක් වගෙයි ඇතමෙක් කියාවී . නිසල ලක්ෂයක් නැති, ඔහේ දිගටම ගලන . ඒත්  අපිට නැවතුම් ලකුණු අවැසියි  ජීවිතයට . අඩුම තරමේ කොමාවක්වත් . 

නැවතිලා පෙනහළු පිරෙන්න හුස්මක් අරන් හිමින් පිට කරන්න . 

සමහර විට අපි හිත්‍වල  පැල  කර ගන්නවා අලුත් බලාපොරොත්තු . නැත්නම් පරණ ප්‍රශ්නම 31ක් වෙනිදා ගෙදර අරන් ගිහින් පළවෙනිදා ආපහු ගෙනෙනවා . 

මෙරට ආපු දා ඉඳලා අපි අනවශ්‍ය බඩු  රැස්  කරන්නේ නෑ  කියලා තීරණය කළා.  එහෙන් මෙහෙන් අනවශ්‍ය දේ එකතු වුනත් , අපේ ගෙදර කුස්සියේ තියෙන්නේ පිඟන් තුනයි කෝප්ප තුනයි . ඔන්න මාස දෙකකට විතර කලින් එක පිගානක් බිඳුනා . අනෙක් දෙකත් අබලන් තත්වයේ . අද ගිහින් පිඟන් තුනක්ම ගෙනාවා .

හෙට අපි පරණ හාලෙන් කිරිබතක් උයලා , අලුත් පිගන් වල කනවා . අලුත් අවුරුද්දක් නේ 

29 December 2013

පවුරු

"B E L L ...BELL  ...කියන්න  ආයෙත් "

"බෙල් කියන්නේ මොකක්ද මැඩම් ?"

"බෙල් කියන්නේ සීනුව "

"දැන් මේ වචන මට ඇහෙන්න කියවලා ඒවායේ පින්තුර අඳින්න වචනෙට එහා පැත්තේ ."

"හරි මැඩම්  .
මැඩම් , අම්මා කිව්වා පීස් ලබන සතියේ දෙන්නම් කියලා . තාත්තා මේ මාසේ සල්ලි එවුවේ නෑ කියලා කියන්න කිව්වා තාම "

"This  is  very unacceptable නේ . අම්මට කියන්න වෙලාවට දෙන්න ඕනේ කියලා fees  . මම මේ ඉංග්ලිෂ්  ටියුෂන් කරන්නේ සල්ලි හම්බු කරන්න නෙමෙයි උනාට , there should be some arrangement . please  කරුණාකරලා අම්මාට කියන්න ..."

කොල්ලා බිම බලාගෙන ලෑලි  මේසයේ බොල්පොයින්ට් පෑනෙන්, පෙර දිනයක ඇඳි චිත්‍රයක් පිළිසකර කරන්නේය .

"Ok now start doing that exercise ."

නන්දනී පෙරේරා වේවැල් දුර්වර්ණ වුනු ඇඳි පුටුවට බර විය .

"මේ මාසෙත් ගාස්තුව සතියක් පරක්කු වෙයි වගේ  .
බෙහෙත්  පෙති බාගේ බාගේ  බොන්න ඕනේ රෑට  , එතකොට ටිකක් පිරිමහ ගන්න පුළුවන් සතියක් විතර . අමරේ මුදලාලිගේ කඩේ පැත්තේත්  නොගිහින් ඉන්න ඕනේ ටික දවසකට . නැත්නම් ඒ මිනිහා ඔක්කොම ඉස්සරහ කෑගහනවා පොතේ ගාන  කියලා ", ඈ  තමාටම කියා ගත්තාය .

සිත නිරායාසයෙන් කාලය නම් මාවත දිගේ ඇවිදින්නට පටන්ගත්තාය .
__________________________________________________________________________
" වසර තිස්පහක් සේවයෙන් පසු  අද විශ්‍රාම ගන්නා නන්දනී , හෙට ඉඳන් ගෙදරට වෙලා පෙන්ෂන් එක අරන් විශ්‍රාම සුවය විඳින්න පටන් ගන්නවා ... නන්දිනි start enjoying your self , you have earned it  ......"
earned it ...earned it ...earned it දෝංකාරය හිමින් වියැකී ගියේය

සති දෙකකට සෑහෙන විශ්‍රාම වැටුප . සති හතරක් දිග මාසය . මේ අසමතුලිත සමීකරණය , සමතුලිත කිරීමට
නන්දනී පෙරේරා ගුරු මාතාව,  ගෙදර පොඩි කොට්ටම්බා  ලෑලි මේසයක් හා ප්ලාස්ටික්  පුටු කීපයක් අටවා ,  ඉංග්‍රීසි උගන්වන්නට පටන් ගත්තාය .

" සල්ලි කියලම නෙමෙයි , පොඩි  එවුන්ට උගන්වන්න හම්බුවෙනවනේ... ඒ satisfaction  එකම ඇති මල්ලිකා  "

"මමත් කැමතියි නන්දනී , ඒත් කොහේද  මට වෙලාවක් නෑනේ . එක මාසයක් ඕස්ට්‍රේලියා ..දුව ගාව ...ඊට පස්සේ තව මාසයක් ඩුබායි පුතා ගාව "

ඊයම් බරුවක් සේ බර යමක් හද පතුලටම කිඳා බසිනවා නන්දීනිට  දැනුනි .

"අපේ අයත් හැමදාම කරදර කරනවා ඇවිත් එහෙ ඉන්න කියලා ..ඒත් එතකොට මේ ළමයි අතරමන් වෙනවනේ මල්ලිකා . මම කිව්වා මේ ගොල්ලන්ගේ විබාගේ ඉවර වෙලාම එන්නම් කියලා ."

මල්ලිකා ගේ මුවේ ඇඳුනු   සිනහවේ අවඥාව , එක වරම ඈ  ඉදිරියේ ජීවමාන වී  මුළු දර්ශන පථය ම වසා ගන්නට මෙන්, බැලුමක්  සේ පිම්බෙන්නට විය .

 "මැඩම්  මැඩම් ...."
_____________________________________________________________________________

 "මැඩම්.... මම ඉවරයි  ලියලා "

කොල්ලා පිටු අසුවේ කොපි පොත දික් කරැගෙන සිටින්නේය .

"කෝ බලන්න . මේ මොකක්ද මේ ඇඳලා  තියෙන්නේ . මම කිව්වා නේ B E L L ...Bell
මේ මොකක්ද මේ ඇඳලා  තියෙන්නේ "

පිටුවේ දකුණු පැත්තට වෙන්නට හැඳි සමචතුරශ්‍රයකි , එය තුල සමකෝණී  ත්‍රිකෝණයකී.  ත්‍රිකොනය  තුල වෘත්තයකි . ගේට්ටුවේ සීනුවේ ස්විච්චයක සලකුණ කොපි පොතේ  හැඳ  ඇත .

"ඔව් මැඩම්...  මේ බෙල්. අර ලොකු ගෙවල් වල තාප්ප වල තියෙන්නේ . එබුවාහම  බංගලාව ඇතුලේ ටිං ටොං ගාල  වදින්නේ .. මැඩම්ගේ තාප්පෙත්  තියෙන්නේ  . "

කොල්ලා  දත් ඇන්දම පෙන්නා  අහිංසක ලෙස සිනා සෙන්නේය . නන්දනී ට ඉබේටම තාප්පය දෙස බැලුනි . තාප්පයේ කපරාරුව දුර්වර්ණ වී ඉරිතලා  ගොසිනි . තාප්පයේ  ගඩොලින් ගඩොල ගැලවී බිමට වැටෙනු , එක වරම චිත්‍රපටයක් මෙන් ඈ  මනසේ ඇඳෙන්නට විය .  උගුරේ යමක් හිරවෙනවා දැනුනි .

"හ්ම්ම් .... "

ඕ දිගු සුසුමක් හෙලුවෝය


පලි : උසට  තාප්ප බඳින්නේ හොර හතුරන්ගෙන් ආරක්ෂා වෙන්නද නැත්නම් , ඇතුලත ගිනි පිටත නොපෙනේන්නද කියල හිතෙනවා
මේ කතාවේ වස්තු බීජය සත්‍ය කතාවක් ඇසුරෙනි . නමුත් මෙය මගේ හිතට ඕනේ විදියට ලියාගන්න බැරි උනා දෝ කියලත් හිතෙනවා . ඔබට හිතෙන වෙනස් කම් කරුණාකර යෝජනා කරන්න .

ඒ වගේම මේ කතාවට මාතෘකාවක් යෝජනා කරන්න 










27 December 2013

අනුන්ගේ ලියුම

මම ගිය සතියේ කොළඹ ගියා කෙටි නිවාඩුවකට .  උදේ නැගිටලා රෝස් පානුයි , පරිප්පුයි බඩ  පිරෙන්න කාලා , හාන්සි පුටුවේ ඇල  වෙලා ප්ලේන්ටියක් රස විඳිමින් මනෝ ලෝකයේ පොඩ්ඩක් ඇවිදින්න ගත්තා  විතරයි 

"ලොකු පුතේ , මෙන්න මේ ලියුම් කාරයා වෙන කාගේද ලියුමක් අපේ පෙට්ටියට දාලා ගිහින් . මමත් බලන්නේ නැතුව කැඩුවා . කවරෙත් කොහේ හරි තිබ්බා දැන් හොයා ගන්න බෑ "

" කෝ බලමු "

අම්මා ලියුම මා අතේ තබා ගෙතුලට යන තුරු සිටි මම , ලියුම් කරදාසිය දිග හැරියේ එහි වතගොත ගැන කුතුහලයෙනි . අනුන්ගේ ලියුම් කියවීම නරක පුරුද්දක් වුනත්, මම ලියුම කියවන්නට ගත්තේ ඉබේටම වගේ .


හිතවත් මහින්ද අයියා වෙත සාදරයෙන් ලියමි 

ඇවිත් ගියා ගියාමයි , මුගෙන් සද්දයක් වත් නෑ කියලා අයියා  හිතන්න ඇති . 

ගෙදර ගියාම හරියට එක එක වැඩ නිසා ලියුමක් වත්  එවන්න බැරි උනාට  සමාවෙන්න . අපේ කැමිලාවතීටත් පිට කොන්දේ ඇවිලිල්ලක් ඇවිත් පහුගිය දවස් වල මට හරි කරදරේ ය . වාත තෙල් ගාන්න , තවන්න ඔක්කොම කරන්න ඕනේ මම නෙව ඉතින් .  විලියොන් ගේ පොඩි කොල්ලත් හරි හුරතල්, උන් දෙන්නත් කොහේ හරි යනකොට පොඩි එකා  බලාගන්න දාලා  යන්නේ අපිට  . ඒ දවස් වලනම් අපිට අතට පයට ආවතේව කාරයෝ හිටියට , දැන් නම් ආණ්ඩුවේ දෙන පඩියෙන් තමා ජිවත් වෙන්නේ . අයියලාටනම් ඉතින් එහෙම කරදරයක් නෑනේ ඉතින් . පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට ඉතින් සින්නක්කරේටම ලියා ගෙන නේ .

මගේ හෙම්බිරිස්ස ගතියත් දැන් අඩුයි . අර නටපු කෙල්ලෝ දිහා බලා ඉඳලා හැදුන  බෙල්ල උල්ලුකුවත්  දැන් අඩුයි . මම දැන් ශ්‍රී ලංකාවේ චැනල් බලනවා නෙට් එකෙන් . එතකොට මම දැක්කා , ඔහේ කට්ටියත් දැන් හරි හරියට , අර මම ගහ ගෙන හිටියා වගේ ලේන්සුවක් ගහනවා උඩ  සාක්කුවේ . .  ඔන්න මම නම් දැන් අයියා වගේ සාටකයක් දාන්න ගත්ත කරේ. ඒකෙන්  නහය විතරක් නෙමෙයි ඕන දෙයක් වහන්න පුළුවන් . 

අයියේ කොළඹදී අපිට සලකපු හැටියට අයියා බුදු වෙන්න ඕනෑ . අර කුරහන් තලප රස නම් හරිම ඇබ්බැහි ශිලියි . එක පාරක් කෑවොත් අබින් කෑවා  වගේය .
ඒත්  කැමිලවතී මට ගෙද‍ර  ගියාම දොස් කීවා  ඒ මිනිස්සුන්ට කරදර කළා කියලා ගම්  බිත්තර හොයන්න . අයියා  දන්නවනේ  මම ඉතින්  විහිලු කාරයා  නෙව . ඉඳලා  හිටලා  බයිට් එකට ගන්නවනේ මිනිස්සුන්ව . අනික අර උදේට හොරෙන් දා ගත්ත ෂොට් එක ගැනත් මුන් පත්තරේට ලියලනේ . ... මම නෝනාව ශේප් කර ගත්තේ බොහොම අමාරුවෙන් .

දැනට නවතින්නම් . අක්කාටත්  ඉලන්දාරියෝ තුන් දෙනාටත්  දෙවි පිහිටයි .

මෙයට චාර්ලිස් ( කුමාරසිරි )

පලි : කුරහන් කෑවට  පස්සේ මට හිතෙනවා මම දැන් කුමාරයෙක්  නෙමෙයි ගමේ කොල්ලෙක්  කියලා 



පලි : අනුන්ගේ ලියුම් කියවීම වරදකි . ඒවා බ්ලොග් එකක පල කිරීම ඊටත් වඩා  වරදකි . හැබැයි ඔබට දැන් මට දොස් කියන්නට නොහැකිය , දැන්  ඔබද ඒ ලියුම කියවා ඇත .

26 December 2013

The haunted house of the south // බිත්ති හතර මැද


There stand four walls in ruins
of a home that once was
Way down a road
that runs deep

south
along the spread of lazy shore 

Them walls
they stand enclosing emptiness
in their faded yellow 

a pale horizon marks 
that faithful day
when the big waves rampaged

They say this place is haunted
this shell of what was before
At dusk
lingers a calming scent of incense,
from where the small shrine was

On a moonless night
you could make out clearly
A woman’s long sigh
and children...
children reading out rhymes
echoing,
in the gloom's clasp 

Yet
one could not help
but wonder
Why
you never hear
The last gasps for life
or the  haunting shrieks of death
Why

they waned
and only the sighs of living
remained 




වසර ගණනකට පෙ‍ර අද වගේම දවසක, 
කුරිරු මහා රළ පෙලහර විත් ඉතිරි කර ගිය බිත්ති හතරක් මැද , එහි වූ ජිවිත වලසුවඳ ඉතිරි වෙලාලු .
දකුණට දිවෙන පරණ පාර අයිනේම වූ මේ නිවසේ හොල්මන් තියනවා කියලා කියත් පළාතේ අය .

හවසට හවසට දැනේලු හඳුන් කූරු  සුවඳක් , පහන් පැල  තිබුණු මානෙන් . 
අමාවක රෑට ඇහෙනවාලු ගැහැණියකගේ (දිගු) සුසුම් ලන හඬ . පොඩි උන් කවි පාඩම් කරන හඬ, තාලයට  .

නමුදු කිසිදාක නෑහේ  මර ලතෝනි , උන් නැගු,  දියවර බිලිගනිද්දී උන් දිවි .

මේ බිත්ති හතර මැද ඉතිරි වෙලා උන්ගේ ජීවිතවල සුසුම්   විතරක් 




22 December 2013

හිත බොර වී

ගලන දියවර
හිමින් හිමින්
කාලයේ තාවුල්ලට
නැවතිය නොහී

කැලතුනු තැනක
බොර දිය සුලියක්
හිතේ හිර කරන්
තැවෙම්

19 December 2013

කුහුඹුවන්ගේ පුරුදු හා බීරි සන්නාලියාගේ උපක්‍රමය

මේ දවස් වල පොඩ්ඩක් අන්තර්ජාල සම්බදතා අවුල් සහගතයි . ඉතින් කෙටි කතා දෙකක් දාන්නම්, හප හපා හිත හිතා ඉන්න .

කුහුඹුවන් ගේ පුරුදු 

කුඹීන්ට  අහර ඇති  තැනක් හමු වූ විට උන් මුලින්ම කරන්නේ  ගුලේ සිට එතනට යනකං  පෝලීම්  දෙකක් හදන එකලු . එකක් නෙමෙයි දෙකක් . ගුලෙන් එලියට එන කුඹී  එකින් එකා අනිත් කුඹීන් ගේ කීමට සවන් දීලා . මුවෙන් මුව මුණු මුණු ගාලා , තමන්ගේ කැමැත්තට අනුව එක පෝලිමකට එකතු වෙනවාලු
මෙහෙම ගිහින් එක මොහොතකදී එක පෝලිමක අනිකට වඩා  දිග වෙනවා . එවිට අර අනිත් පෝලිමේ කට්ටිය ඇවිත් , දිග පෝලිමට එක් වෙනවලු , (අනේ අපි අනිකේ හිටියේ නෑ  වගේ) .

අපේ ජිවිත වලත් පෝලිම් කොච්චර නම් තියෙනවද?  ඒවා අපි තෝරා ගන්නේ මොන නිර්නායක නිසාද?


බීරි  සන්නාලියාගේ ක්‍රමය 

ඔන්න එක නගරයක ටේලර් සාප්පුවක් තිබුනා .
මේක කරේ , සයිමනුයි , මාටින් නුයි කියලා සොහොයුරොන් දෙන්නෙක් .
ගනුදෙනුකරුවන්ගෙන් ඇනවුම් ලබා ගැනීමට මොවුන් අපුරු උපක්‍රමයක්‌  පාවිච්චි කළා .
ඔන්න මාටින් ඉන්නවා ඉස්සරහ කවුන්ටරයේ . ගනුදෙනු කරුවෙක් ඇවිත් මිල විමසුමක් කරපුවහම ඔහු රඟපානවා පොඩ්ඩක් බීරියි වගේ .

මිල ගණන් විමසු විට , ඔහු කෑගහනවා

"සයිමන් මේ සූට්  එකක ගාන  කීයදෝ?"

"ඩොලර් තුන්සිය හැටයි  "

" මහත්ත‍යා, මගේ සහෝදරයා කියනවා එකසිය හැටයි  කියලා "

මාර  ලාබයක් කියලා හිතන ගනදෙනු කරුවා ටක් ගාලා ඇනවුමක් දෙනවා .

අපිත් වෙලාවකට ලාබයි කියලා හිතන දේවල් ......

12 December 2013

The making of the notorious ගොක් කොළ සිරි (I R C)

ටං ටං ටං 
(සුදු අත්කොට කමිසයකින් හා කොටු කොටු සරමකින් සැරසුණු තරුණයෙක් , ගේට්ටුවෙ  කොක්කෙන් ගේට්ටුවට ගසන්නේය )
...කවුද ගෙද  ර....?

(දොර ඇරේ , එතුලින් මේස බැනියමක් හැඳි තලත්තෑනි මිනිසෙක් එබී බලන්නේය.)

කවුද මේ උදේ පාන්දරම දොරට ගහන්නේ 

නෑ මේ මම මේ , අර පත්තරේ දැන්වීම දැකලා ආවේ . අර චණ්ඩින්ට නම් තියනවා කියලා තිබ්බේ ..

ඔව් ඔව් ඒ මම තමයි . එන්න ඇතුලට ..

බල්ලෝ බැඳලද දන්නේ නෑ  ?

බල්ලෝ නම් ඔය  බැන්දුවේ  පොලිසියෙන්....

 ඒ කිව්වේ ..?

තමුසේ එනවකො ඇතුලට ..මෙහෙන් වාඩිවෙනවා . කෝ නම තියන්න ඕනේ එක්කෙනාගේ පින්තුරයක් වත් ගෙනාවද ?

පින්තුරයක්? ...නෑ  නෑ  මට තමයි නම තියා ගන්න ඕනේ . (ඔහු තාලයට අදිමින් පවසන්නේය )

ආ ඔහේටද  ? නෑ  මොකද ඔහේගේ කිසි චන්ඩි පෙනුමක් නැති නිසා මම ඇහුවේ . කමක් නෑ.  ගාස්තුව දැන්වීමේ දැක්කානේ ?

ඔව් ඔව් දැක්කා . මේ මම දැනට චන්ඩියෙක් නෙමෙයි ..නම හදාගෙනම  චන්ඩියෙක් වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ 
දැනටමත් මම මේ ලැස්ති වෙනවා 

(ඔහු ඉනේ ගසා ගෙන් සිටි යමක් ගෙන ටීපෝව මත තබයි )

දැක්කද , පිහිය ඉනේ ?

මේ පාන් පිහියක් නේ ?

වෙන එකක් හොයා ගන්න බැරි උනා (ඔහු අහිංසක සිනහවක් පාන්නේය) 

ආ එහෙමද ? කමක් නෑ  කමක් නෑ .මොකෝ තමුසෙට චන්ඩියෙක් වෙන්න හිතුනේ ? මෙහෙමයි පුතෝ චන්ඩිත්  ජාති දෙකක් ඉන්නවා . වෙඩිකන  චන්ඩියි , ගොඩ යන චන්ඩි යි .

මට ඕනේ චන්ඩියෙක් වෙලා , මන්ත්‍රීතුමා ගාව රාජ්‍ය සේවයට බැඳිලා , පළාත් සභාවට යන්න .

එහෙනම් අපි ඒ වගේ නමක් දාමු . සාමාන්‍යයෙන් ගමේ නමයි තමුසෙගෙ නමයි තමයි දාන්නේ . තමුසේ අහල ඇතිනේ , ගෝනවල සුනිල් , නාවල නිහාල් , මොරටු ..

අපේ පන්සලේ හාමුදුරුවෝ වගේ ... සෙත්සිරිගම නානාලෝක 
නානාලෝක ?

ඔව් ඔව් අයියෝ ..නානා  නානා  , අර පිපින්නා  , කොම්පන්න විදිය වගේ 

නානාලෝක නෙමෙයි ...ඥානාලෝක... දැන් කාලේ ඒ කට්ටියත් ඉතින් චන්ඩි පාට්  තමයි .. හරි කියනවකෝ තමුන්ගේ ගමයි නමයි ..

ගම සෙත්සිරිගම , මගේ නම සිරිමල් , එතකොට ....සෙත්සිරිගම සිරිමල් 

අයියෝ උපාසක මහත්තයෙක් වගේ නේ ..එක හරි යන්නේ නෑ . මෙහෙම කරමු ..තමුසෙට ගෙදරට කියන මොකක් හරි නමක් තියෙනවද? ඉස්සර ලොකු චන්ඩි ඉඳලා තියෙනවා ඔය පොඩි පුතා වගේ නම් වලින් 

මට නම් ඉතින් ගෙදරට කියන්නේ හිච්චි බබා කියලා 

ඒක අවුට්  එහෙනම් ..එහෙනම් තමුසෙට කට්ටිය කියන මොකක් හරි විහිලු නමක් තියෙනවද ? නිකන්  චොප්පේ , අයිස් , ජෙමා වගේ ...

ගමේ කොල්ලෝ නම් කියන්නේ ඉතින් , සිරිමල් එතනා කියලා තමා...එතකොට මම උන්ව එලවාගෙන යනවා ..

අයියෝ ...එකත් හරි යන්නේ නෑ  . තමුසේ අහල තියෙනවද තෙල් බාලා ගැන අර තෙල් ජිල් මාට් එකක් කලේ ?

අයියේ , මම පොල් , තැඹිලි එහෙමනම් බාලා තියෙනවා කුලියට ...පොල් බාලා කියමුද?

පොල් බාලා!!!!? ..තමුසෙට පිස්සුද ඕයි ?.. 

නෑ  නෑ  මම නිකන් කිව්වේ . තරහ ගන්න ඕනේ නෑ නේ ඉතින් ...හ්ම් 

තමුසෙගෙ මොකක් හරි පච්චයක් එහෙම කොටලා තියෙනවද ..අහල ඇතිනේ පච්ච සිරා ගැන 

අනේ පච්ච  නම් නෑ , කනේ ඉන්නෙක් නම් තියෙනවා ..

අනේ මගේ කටට එන දේවල් නම් කියන්න .. හරි හරි ... තමුසේ සත්තු ඇති කරලා තියෙනවද , කුකුල්ලු , පාත්තයෝ වගේ ..කුකුල්ලු ඇති කරපු හාදයෙක් හිටියා චාලි කියලා , තමුසේ අහලා ඇතිනේ .

අනේ ඉතින් මම නම් ඇති කරන්නේ සාරි ගප්පි තමයි .

හරි අපි තව බලමුකෝ .. තමුසෙට මොකක් හරි ශරීරයේ අඩුවක් එහෙම තියෙනවද ?

මේ මහත්තයෝ ඔහෙට ඒවායින් වැඩක් නෑ  හරිද ?  අපි හොඳ කොල්ලෝ තමයි ...ගලවල පෙන්නන්නද ? ( ඔහු තම ඉනපටිය ගලවන්නේය )

නෑ  නෑ  එහෙම විකාරයක් නෙමෙයි ඕයි  මම කිව්වේ ...මම ඇහුවේ තමුන්ට නොන්ඩියක්  , වපරයක් , ගොතයක් වගේ එකක් ...
හරි ඒකත්  අමතක කරලා දානවකෝ . එහෙනම් කියනවා කෝ තමුසේ කොහෙද වැඩ කරල තියෙන්නේ , යුනිපෝම් අඳින තැනක ... ආමි එකේ , නේවි එකේ  අඩුම ගණනේ නගර සභාවේ වත් 

අනේ ඉතින් මම ටික දවසක් අපේ මස්සිනාගේ ටුවරිස්ට් හෝටලේ වැඩ කළා , ...අර ඉස්සරහ ඉඳන් ආයුබෝවන් කියන්නේ , දොර ඇරලා .. ඒකටනම්  යුනිපෝන් එකක් දුන්නා ..

අපිට තමුසෙට එහෙමනම් ආයුබෝවන් ෂොට් කියන්නත් පුළුවන් .. තව බලමුකෝ , 
මොනවා හරි දක්ස කමක් එහෙම තියෙනවද? කැටයම් කපන්න , චිත්‍ර අඳින්න එහෙම පුලුවන්ද ?

මම පිරිත් මණ්ඩප හදනවා , ගොක්කොළ වලින් සැරසිලි ..

ඔය තියෙන්නේ.... හප්පේ මම හිතුවා තමුසෙට නමක් දා ගන්නම බැරිවෙයි කියලා ...අපි තමුසෙට ..ගොක්කොළ  සිරි  කියමු ....



පලි :
අපි පොඩි කාලේ පාතාලයක් කියා අසා තිබුනේ නැත . හිටියේ නගරන්  කාරයෝ සහ අයි ආර්  සී  කාරයින්ය 


07 December 2013

ජපනාට පාඩමක් ඉගැන්වීම

"ආයුබෝවන් සර් "
"ආයුබෝවන්. ජපන් coach  කෙනෙක් ඇවිල්ලා , ස්විමින් උගන්නවා  , බැඳෙන්න කැමති අය බදාදා 2ට එන්න "   මලවිගේ සර් පන්තියට ඇවිත් කිවේය .

මම මේ කතාව ගෙදර කිව්ව වෙලේ සිට අප්පච්චි කිවේ "පලයන්" කියාය .
"කොල්ලෙක් උනාම පීනන්න පුරුදු වෙන්න ඕනේ" ඔහු කිවේය  .  අත්තම්මානම් එක හෙලාම විරුද්ධ වුයේ මට හරියට පීනන්න බැරි නිසාය . ඈගේ අදහස වුයේ , පිහිනීමට හරිහැටි නොදැන වතුරට බැසීමෙන් අනතුරක් විය හැකි බැවින්, හොඳින් පිහිනීමට හැකි වූ පසු පුහුණු වීමට  යන ලෙසය .
ඇයගේ තක්සේරුව වැරදිය .  උපන්දා සිට ගඟක් පේන  තෙක් මානයක නැති පළාතක හැදුනු ,  සිස්සස්තේ පාස් වී මේ ඉස්කෝලෙට යනකන් ජීවිතේට ස්විමින්ග් පුල් එකක් නොදැකපු මට 
හරිහැටි නොව , කොහෙත්ම පිහිනීමට නොහැකිය .

අප්පච්චි chands එකෙන් ස්විමිං  ට්‍රන්ක්  එකක් ගෙනත් දුන්නේය . ( "දෙසිය විස්සක් උනා " ඔහු හෙමින් අම්මාට  කියනවාද මට හවස ඇසුනි .  "කමක් නෑ  පඩියෙන් පස්සේ බෙහෙත් ගන්න යමු " ඇය  පිළිතුරු දුන්නාය)

 බදාදා උදා විය . කැන්ටිමෙන් දවල්ට සීනි සම්බල් පාන් එකක් කා  , කරාමයෙන් වතුර බී පුල් එක ගාවට ගියෙමි .පපුව ඩබ් ඩබ් ඩබ් ගා ගැහෙන්නේය . ජිවිතේ පළමු වතාවට ස්විමිං  පුල් එකකට බහින්නට යන්නෙමි . ජපනා ගේ මුල් කතාවම මට ඇල්ලුවේ නැත . ඌ කිවේ ගිහින් නා ගෙන එන්න කියාය . වතුරට බහින්න ඉස්සරවෙලා නාන්නේ මොකටද , මම හිතින් ඌට බැන්නෙමි .

කෙසේ හෝ අපි වතුරට බැස්සෙමු. ජපනා මුලින් උගන්වන්න යන්නේ ගිලෙන හැටිය . එක එකාගේ ඔලුවෙන් අල්ලා  වතුරේ ඔබන්නේය . ඔලුව යට  යන්නේය , මාළු ටැංකියේ වගේ බුබුළු උඩ  එන්නේය .

මගේ වාරය පැමිණියේය .

ඔලුව යට ගියේය.වතුර පෙවුනේය . මම දඟලුවෙමි . ඉස්මොලේ දැවිල්ලක් පැතිරුණි . මා උඩට ආවෙමි . ජපනා හිනා වන්නේය . මට කන්නට කේන්තිය .
 උගන්වන්නම් ජපනාට පාඩමක් . මම යන්නේ නෑ ආයේ  ඔය කෙහෙල්මලට, ආපසු එන ගමනේදී  මම තීරණය කලෙමි.  ගිලෙන්න මම දැනුත් දන්නවනේ ...(ජබොස් එකයි , ගලුබ් තුනයි , ටටා දෙකයි, )...

මම එම තීරණය අකුරට ක්‍රියාත්මක කලෙමි . ඉන් පසු සති කීපයක් මට අසනීප වීම් , කිට් එක ගෙනෙන්නට අමතක වීම් එක දිගටම විය .


ජපනාට හොඳ පාඩමක් ඉගැන්නුවෙමි .

අදත් මට හරියට පීන්නට  නොහැක . පාඩුව ජපනාටය.


පලි ; මෙලෙස කුකුල් කේන්ති ගොස්,  මම මේ වගේ පාඩම් බොහෝ අයට උගන්වා ඇත්තෙමි . ඔවුන් අදත් ඔවුන්ට සිදුවූ පාඩු ගැන සිතමින් හුල්ලනවා වෙන්නට ඇත .

05 December 2013

අන්දරේ බළකාය

එකෝමත් එක කාලේක , අපි ඉස්කෝලේ යන දවස් වල , පින්තුර කොළ කියලා ජාතියක් තිබුනා .

A3 ප්‍රමාණයේ කොලේක , විවිධ තේමා ඔස්සේ පෙළ ගැහුනු අඟල් දෙකේ දෙකේ කොටු වල  එළවලු , පලතුරු , ජාතික කොඩි , සත්තු , තේමාවේ හැටියට පෙළ ගැසුනා . මේ පින්තුර කොළවලට බාල පන්තිවල ගුරුවරුන් බෙහෙවින් ප්‍රිය කරන්නට ඇති බව මට සිතෙන්නේ හැම දාම වගේ මොකක් හරි කොලයක් අරන් එන්නට කියා ඔවුන් කියූ බව සිහිවෙන විටයි .

දෙකේ පන්තියේ එක දවසක්  , අපට රැගෙන ඒමට කීවේ  ජාතික වීරයන් ගේ පින්තූර .
දුරකථන , පුද්ගලික වාහන නොතිබුණු ඒ කාලේ , වැඩ ඇරිලා බස් එකේ හිරවෙලා ආපු අපේ අම්මා , හැරෙන පයින් ගිහින් හුළංගේ කඩෙන් ඔය ශීට් එකක් අරගෙන ආවා .

පුරන් අප්පු , කැප්පෙටිපොළ  , වාරියපොළහිමි ගෙන් මුල් කොටු පිරුණු කොලේ  , මැදට වෙන්න පොන්නම්බලම් අරුනාචලම් , පොන්නම්බලම් රාමනාදන්, ටී  බී ජයා  ලාගෙන් සමන්විත වුනා . අගට යනකොට , ටේල් කෝට්  එකක් ඇඳලා  ගිහින් සිංහ කොඩිය උස්සපු ජාතියේ පියායි  . කලිසම උඩින් සරම දාගත්ත බණ්ඩාරනායක උන්නැහෙයිත් හිනා වෙලා උන්නා . 
(අර නෝනිස් ලොක්කා  දක්වපු නියමය හා සනාථ කිරීමට අනුවම බලපුවහම , ප්‍රජාතාන්ත්‍රික රටක ඕන පින්තුරයක් ඕනේ කොලේක ගහන්න පුළුවන්නේ, වරදක් නෑ  )
මෙන්න බොලේ ඊට පේළියකට උඩින් අන්දරේ !

පුංචි අපේ මොළවලට,   බෝතලේ වලව්වේ හාමුයි , හොරගොල්ලේ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හාමුයි ජාතික වීරයෝ වෙන්නේ කොහොමද කියලා සංකාවක්  ඇති නොවුනාට ,  මේ පින්තුර කොලයේ පින්තුරය ඇතුළු කර ගැනීමට අන්දරේ ගේ සුදුසුකම් ගැන අපි සැවොටම වුයේ සැකයක් . 
( ප්‍රජාතාන්ත්‍රික රටක එහෙම සැක  කරන්නත් අපිට පුළුවන්නේ )

අපේ පන්ති බාර චන්ද්‍රසේන මිස් , මේ පැනයෙන් බේරිලා , තම ගෞරවය රැක  ගන්න මහත් වෙහෙසක් දරුවා . අන්දරේ කියන්නේ වාසල කවටයා බවත් , රජතුමාට ඇතැම් විට සරදමින් මෙන් විවිධ දේ කියා ඔහුගේ විවිධ තීරණ වෙනස් කළ  හැක්කේ ඔහුට බවත් , තර්කයක් ගොඩනැගීමට ඇය  උත්සාහ කලත් . ඒ පන්තියේ හුන් යස්ස පැටව්  එය පිලි නොගත් බැවින් , ඒ පාඩම අවසන් වුයේ , අප සියලු දෙනා  කන් දෙක අල්ලා  ගෙන පුටු උඩ  සිටවීමෙන්  . ( ප්‍රජාතාන්ත්‍රික රටක එහෙම කරන්නත් ඔට්ටුයි නේ )

කාලයාගේ ඇවැමෙන් , යමක් කමක් තේරෙන විට මගේ ආකල්ප වෙනස් වෙලා . අන්දරේ කියන්නේ මහා වීරයෙක් තමයි කියලා මට දැන් වැටහේ . කොටින්ම කියනවානම් රජතුමා රකින්න,  ලඟින්ම ඉන්න මහා වීර (හෝව් හෝව් ..අර මහා වීර නෙමෙයි හරිද  )  සේනාංකයක් . රජතුමාට උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ  එහෙම ආපුවම , සැනෙක ඔවුන් පෙරට විත් මහා ගුප්ත ශාස්ත්‍රයක් වන  අමනෝඥ හාස්‍යප්‍රොක්‍රම සාස්තරෙන් වැඩේ ගොඩ දා ගන්නවා .

ඔන්න සැක නම් , හොයලා බලන්න වීඩියෝව  , මේ සාස්තරේ අති සූරයෙක් වන ගම්පොල දි මු ගුරුන්නාන්සේ  මේ ලඟදි දවසක් බලු කෑම  ප්‍රශ්නයක් අරබයා , තම ගුප්ත සාස්තරේන්  සිල්ප  දක්වන අපූරුව .

පලි :
මට අපි ගැන දුක හිතුනා