15 March 2014

අයියෝ MH 370

අනේ මන්දා මචං  මේ දවස් වල මේ ඉස්කෝලවල දෙන ගෙදර වැඩ 

ඇයි  මොකෝ ?

මේ සතියේ පොඩි එකාට දීලා ලියන්න කියලා රචනාවක් , මලයාසියානු ගුවන් අනතුර කියලා . ඇයි  මචං  අපේ කාලේ වගේ මම පොල් ගසක් වෙමි , කොස් ගස , මගේ රට වගේ මාතෘකා දෙන්න බැරි ?

ඉතින් පොඩි එකා ලියලද ?

ලියලද !!!? උඹටත් හරි ජොලි නේද මේවා කියවලා 

..එහෙම නෙමෙයි ..ඒත්  පොඩ්ඩක් එවපංකෝ  බලන්න 


මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුයේ පසුගිය සතියේය . මලයාසියාවෙන් අහසට නැගුනු ගුවන් යානය ආගිය අතක් නැතිවිය . මොනවා වුනාද කියා මුළු ලෝකයම හොයන්නෝය  .  ඒත් තාම හම්බුවුනේ නැත .
කට්ටිය නම් කියන්නේ අනතුරක් වුනාදෝ කියලාය . ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥයකු වන ඇන්ටන් ජෝන්ස් මහතා අතීතයේ වූ අනතුරක් ගැන සිහි කරමින් මෙසේ කියා ඇත 

"කන්දේ හැපුණා  මහා වනාන්තරේ , ඩී  සී  අට අහස්  යන්තරේ , මරු  ආ කල සසරේ , බේරෙන්න බෑ  මිතුරේ , කාගේද මට වරද නොතේරේ ."

මේ වගේ සිද්ධියක් දවසක් අපේ ඉස්කුල් වෑන්  එකටත් සිදුවිය . අපේ ඩ්‍රයිවර් මාමාට  හදිසියේ ටොයිලට් යන්න ඕනෑ  වී යාලුවෙකුගේ ගෙදරට හැරෙව්වේය . අපි ගෙදර එන්න පරක්කු වුනු නිසා අම්මලා හොඳටම කලබල වී සිටියහ. සමහරවිට පයිලට් අංකල්ටත් එහෙම අවශ්‍යතාවයක් ඇති වුනාද දන්නේ නැත . එත් වෑන් වගේ පයිලට් ලා ටොයිලට් යන්න ප්ලේන් මග නවත්වන්නේ නැත . ටොයිලට් එකක් ඇතුලේම  ඇත . ඒත්  ටොයිලට් එකේ දොර කියා ප්ලේන් එකේ මහ දොර  ඇරියාද  දන්නේ නැත . එය ඉතා සුලබ අත්  වැරදීමකි . නමුත් වරදක් කලත් සිතකින් නොවේමය . මහ  දොර ඇරී  ඔහු එලියට වැටුනද දන්නේ නැත . පයිලට් නැති නිසා ප්ලේන් එක තවම ඔහේ යනවා වෙන්න ඇති . ගොඩක් වෙලාවට පයිලට්ලා නැති වුනත් ප්ලේන් ඔහේ  යන්නෝය . මගීන්ටත් කිසි ගානක් නැත .

එහෙමත් නැත්නම් ඒ ගුවන් සේවයේ සභාපති අංකල් වෙන රටක එයාපෝට් එකක ෆ්ලයිට් එකක් නැතිව ඉන්න විට ටක් ගාලා පයිලට්ට කෝල් එකක් දීලා ගෙන්න ගත්තද දන්නේ නැත . අපිත් පොළට  ගොස් බදු මිලදී ගත පසු ත්‍රීවිල්  එකක් එලවන ගුණේ  මාමාට  කෝල්ස් එකක් දෙන්නෙමු . එවිට ඔහු ටුකුස් ගා පැමිණෙන්නෝ ය .ගුවන් සේවයක සභාපති වුනාම ඒවා ඔට්ටුය .

එහෙමත් නැතිනම් කවුරු  ත්‍රස්තවාදියෙක් මේකට ජැක් හයි කලාද , මේක හයි ජැක් කලාද දන්නේ නැත . අර ඇන්ටන් ජෝන්ස් මහතා එවැනි සිද්ධියක් ගැන කියා ඇත්තේ , "දරුවා බලන්න ආසා  , නමුත් නොලැබුණි වීසා , ඉතාලියට යන්නේ කොහොමද? ". "මෙන්න මේ දුක ඉවසා, දරන්න බැරිවුණා මිනිසා , පිස්සු වැටුන එකත් පුදුමද ? " කියාය .
එනමුදු මලයාසියාවේ මාමලා  නම් ඉන්නේ ටිකක් නාගෙන වගේය . ඒ මාමලාගේ දුක මට තේරෙමි . එක දවසක් මගෙත් සෙල්ලම් ජීප් එක නැතිවී මම හැම තැනම සෙව්වෙමි. අපේ අම්මා  ඇහුවේ, අන්තිමට තිබ්බේ කොහේද  කියලාය. ඒක  මතක නම් මම සොයා ගන්නවාය . ඒ මාමලාගෙන්  කට්ටිය අහන්නෙත් ඒ වගේ ප්‍රශ්නය .

හැබැයි එහේ  ලංකාවේ වගේ විපක්ෂයක් නැතිවා වාගේය . නැතිනම් ඔවුන් " මේ ඔක්කොම අර පවුලේ වැරදියයි  " කියන්නට ඕනෑය . එතකොට අනික් පැත්තෙන් "අයියෝ අපිට හරි හමන් විපක්ෂයක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑනේ " කියා කියනු ඇත .

කෙසේ හෝ මේ ගුවන් යානය සොයා ගන්නවාය  . ඒ හොයා ගන්නේ මේ ලෙසය .

කට්ටියට තව ටිකක් හොයන්නට ඉඩදී අපේ ලොකු මාමා  " පුංචි වුනත් ටිකිරි වුනත් මමයි හොයන්නේ " කියා ඉදිරියට එන්නේය .. ඉන්පසු ඒ සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති තුමා , දොස්තර එලියේත් වයිට් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරන්නේය .
ඔවුන් සුභ මොහොතින් මලයාසියාවට ගොස් , ගුප්ත බලයෙන් එය ඇති තැන පින් පොයින්ට් කර ගන්නෝය . ඉන්පසු පෙරලා පැමිණ , ලංකා රේගුවේ ඇති දක්ෂ නිලධාරීන් සමග ගොස් , කොළඹ වරායේ කන්ටේනරයක් අස්සේ සඟවා තිබී ගුවන් යානය සොයා ගන්නෝය . මේ දවස් වල ඔය කන්ටේනර් අස්සෙන් මතු වන්නේ අරුම පුදුම දේවල්මය .

ඉන්පසු මලයාසියාවේ මාමලා සන්තෝස වී අපිටම ඒ ගුවන් යානය තියාගන්න දෙන්නෝය . එය ඉන්පසු දැයට  කිරුළ  කානිවල් එකේ තියා  ප්‍රදර්ශනය කරනවාය . අපි ගොස් පෝලිමේ සිට, එය බලා , හූල්ලා , දුක් රසය බඩ පුරා  විඳ,   විනෝදයෙන් ගෙදර එන්නෙමු 



24 comments:

  1. එල එල නියමයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ කිව්වා

      Delete
  2. උඹත් එක්ක බෑ.. මම හිතන ඒවාම කොහොමද උඹ ලියන්නේ..

    මට නම් හිතෙන්නේ බඩුම තමයි.. කොහොම හරි තාක්ෂණය ගැන විශාල ගැටළුවක් මතු උනා මේ කාරනේ නිසා..

    ReplyDelete
    Replies
    1. හා හා හා . අර ග්‍රේට් මයින්ඩ් ස් ගැන කියමනක් තිබේ . එමෙන්ම එක විදියට හිතෙන උන් ඔක්කොටම පිස්සු කියා කියමනක් ද තිබේ :)

      ඇත්තටම කියනවානම් මමත් මේක හිතේ තියන් හිටියේ ටික දවසක් ,. හැබැයි කවුරු හරි ලිව්වොත් පල නොකරන්න හිටියේ .
      මේ පැත්තෙනම් එක එක ආරංචි පැතිරෙනවා . එකේ හිටපු vip කෙනෙක් ගැන . ඇයි USA ගේමට බැස්සේ වගේ දේවල් ගැන . අනේ මන්දා

      Delete
  3. හා..හා..පොඩි එකත පොඩි කමට කියන දේවල් . මොනවා උනත් මලසියාවේ පොලිස් මාමලට නම් අපේ පොලිස් මාමලාගෙන් පිටපත් රචනය ගැන ඉගෙන ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. :) අදත් පිටපත පොලිස් මාධ්‍ය ඒකකය

      Delete
  4. දෙවන මහින්ද පසු විපරමක් ලියලා නැද්ද තාම. කේපී හිටියේත් නැලේෂියා නේද?

    ReplyDelete
    Replies
    1. තාම නෑ වගේ. හොලිවුඩ් ෆිල්ම් එකක් නම් ශුවර් වගේ

      Delete
  5. පොඩි එකාට ලකුණු කීයක් හම්බ උණාද දන්නේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. ගෙනිච්චා නම් කොල්ලට කොහොම වුනත් තාත්තට අවුරුදු දෙක තුනක් ඇප නැතුවම

      Delete
  6. මැලේෂියන් උන් දන්න බම්බුව. අපිට බාර දුන්න නම් ඇත්තෙන්ම මෙලහට අපි මේක හොයලා දීල. මුලු ලෝකෙන්ම ඇමරිකාවට චැලේන්ජ් කරන්න ඉන්න එකම ජගතා වෙච්චි, අන්තර්ජාතික පරජාවම බය, අපි එක්ක ඒ සෙල්ලම් බැහැ. පිල්ලෙ නෝනගෙන් අහන්න... කියයි අපේ හැටි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. අපිට දුන්නා නම් , ප්ලෙන් එකක් නැති උනේ නෑ කියන තත්වෙට ගේන්න පුලුවන්.

      Delete
    2. අයෙ මොනවද ...මතක නැති වෙනවා කට්ටියටම

      Delete
  7. පිටරට බස්වල පවා දැන් තියනවා සැටලයිට් ට්‍රැකින් සිස්ටම් එකක්. මේකෙන් අසවල් බස් එක දැන් කොහෙද තියන්නේ කියලා ලැප් එකෙන් බලාකියන්න පුළුවන් හැබැයි ඉතින් කරන්ට් ෆියුස් එක ගලවපු ගමන් හෙවිලි බොරු. බස් වල වැඩකරන කාර්මික අපි එක ගලවලා හොරගමන් යන්න උපන් හපන්නු. මේකත් ඒවගේ වැඩක්ද දන්නේ නැ

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් තමයි දැන් යන්නේ

      Delete
    2. @ AnonymousMarch 15, 2014

      පිටරට බස්වල විතරක් නෙමේ ලංකාවේත් දුර ගමන් සේවා බස්වලත් ඒ සිස්ටම් එක දැන් තියෙනවා. ගිය අවුරුද්දේ හයි කරපු GPS සිස්ටම් එකට මේ අවුරුද්දට බස් පර්මිට් අලුත් කරද්දී 10,000 ක මුදලක් අය කරලා තියෙනවා.

      හැබැයි ඔය පියුස් කතාව නම් හැබෑව. ඒක ගැලෙව්වොත් ඔක්කොම හබක් :)

      Delete
  8. පොඩි උන්ට මේ තරං දිග රචනා දෙනෝ ද..? හම්මෝ... :o

    එලම තමයි ඈ... ! :D

    ReplyDelete
    Replies
    1. අද්දියාපනේ කේන්දර ඉස්තානයක් කරන්නනේ උත්සාහය

      Delete
  9. ඊට පස්සේ දැයට කිරුල අවසන් වුනාම ජාතියට තොප්පිය කියලා තවත් 'පෙදර්සෙනයක්' පටන් ගන්නවාය. එතන මේ පෙලෙන් එක සමග පිං කැටයකුත් තියලා අපේ අර වීර සැට් එකේ පින්තූරයකුත් ගහලා තියනවාය. අපේ එවුන් තම පශ්චාද් භාගයේ තියන මස්තිෂ්කය අතගා පින්කැටෙත් වන්දනා කොරනවාය.

    ReplyDelete
    Replies
    1. සැරදේ මහ... එක්කෝ ඕනේ නෑ

      Delete
  10. අර නිදහස් සිතුවිලි ලියන රවී ලියලා තියෙන්නේ ෆ්ලයිට් එකේ අප්සට් එක අපේ ලොක්කාගේ ගේමක් කියලා.

    ReplyDelete
  11. අන්න අපේ ජෝතිශ සෙට් එක පොල් ටෝක් වගයක් දෙනවා දෙරණ නිව්ස්වල. යකෝ පොලව පලාගෙන යන්න හිතෙනවා. පොඩි එකාට නියම රචනයක් ලියාගන්න තිබුනා මුන්ව හම්බවුනානම්. මේ නිව්ස් දාන්නේ මුන්ව නෝන්ඩි කරන්නද මන්දා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ මෙච්චර මහන්සි වෙන්නේ මල් ජාති පහයි බුලත් අතයි රුපියල් තුන්සිය හතලිස් තුනයි සත හතලිස් තුනයි

      Delete
  12. අන්තිම ටික තමා හොඳටෝම රහ :D

    ReplyDelete

Have commented