මිස්ට පෙරේරා ජිවත් වන්නේ මේ රටේය .
චීනේම උනත් චීනේම නොවන මෙහි , පවතින්නේ සේවා මුලික වූ ආර්ථිකයකි . ලෝකේ වටෙන්ම පැමිණි මිනිස්සු මෙහි ජිවත් වෙති . එම නිසාම බහු සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි මෙහි බොහෝ රටවල සංස්කෘතික උත්සව සැමරේ , චීන අලුත් අවුරුද්දේ සිට අනික් චීන උත්සව ප්‍රධානව , දීවාලි , නත්තල් , වැනි සියලු උත්සව සැමරේ .
අමෙරිකාවෙන් පටන් ගෙන , ලොව පුරා පැතිර යන halloween ද මෙහි සැමරේ . පොඩි එවුන් එක එක විදියට ඇඳ ගෙන ගෙයින් ගෙට රස කැවිලි හිඟා කති . වැඩිහිටියෝ දෙකක් දමා ගැනීමට තවත් එක හේතුවක් කර ගනිති .
ගිය වසරේ මෙන්ම මේ වසරේද පෙරේරා යුවලට මෙවැනි සාදයකට ආරාධනාවක් ලැබුණි . සාදය සංවිධානය කරන්නේ ලංකාවේ පවුල් දෙකකි . ගිය වසරේ ඔවුන් නොගියහ . මේ වසරේ නම් කෙසේ හෝ යා යුතු යයි ඔහුට සිත් විය
මේ අදහස පෙරේරාගේ හිතේ ඇතිවී ටිකක් දවසකි . මැදිවියේ නිසාදෝ ඔහු ගේ සිතේ විකාර අදහස් නිතර මතු වේ
වෙනදා මෙන්ම මාලිනි ඇඳටම උදේ තේ එක රැගෙන පැමිණියාය .
"මාලිනි මේ අවුරුද්දේ අර පාටියට අපි යමුද?"
" අනේ මේ ලංකාවේ අපිට මොන හැලොවින්ද "
" එහෙනම් අර සංජය ලා යන්නේ "
" ඒ ගොල්ලෝ පිට රට ඉගනගත්ත තරුණ ජෝඩුවක් . අපි ඒ වගේ නෙමෙයි නේ "
" එහෙම නෙමෙයි අපිත් මේ සැරේ යමු කොස්ටියුම් එකක් ඇඳ ගෙන "
"මොකක් කිව්වා ..."
" ඔව් ඔව් කොස්ටුමේ එකක් ඇඳන් යන ඕනේ "
" නිකන් අවුරුදු උත්සවේ විකට ඇඳුම් තරඟ වගේ , mid life crisis ද කොහෙද . ඔයාටත් හිතෙන දේවල් "
මම උඩින් ලන්කට් එකක් ඇඳලා සුපර් මෑ න් වගේ යන්න හිතන් ඉන්නේ .
හා හා මරුවට තියෙයි ඔය බඩයි හීනි කකුලුයි එක්ක , සුපර් මෑ න් නෙමෙයි ඉඳියි නිකන් ගජ මෑන් වගේ
(පෙරේරා කකුල සෙමින් අත ගෑවේය , ඉපිල්ලිනු නහර ඇඟිලි තුඩට දැනිණි .)
එහෙනම් මම අර සාලේ ගහල තියෙන යක් මුණ ගැට ගහ ගෙන යනවා
අර වෙසක් එකට ඔලු බක්කෝ නටනවා වගේ ?
( පන්සල් වත්තේ , බංකු වේදිකාව , අන්නාසි කකා බලපු වෙසක් නාට්‍ය හිතේ දිග හැරිනි )
එහෙනම බෙඩ් ශීට් එකක් පොරවාගෙන හොල්මනක් වගේ වත් ?
අනේ මේ පිස්සු නටන්න හදන්න එපා ගාමිණි
මාලිනි අවසන් තීරණය ප්‍රකාශයට පත් කළේය .
31 වනදා රෑ කෑමෙන් පසුව , මිස්ට පෙරේරා මහල් නිවාසයේ පහල එළිමහනට පැමිණියේ , දුම්වැටියක් දල්වා ගැනීමටය .
එක පාරටම
"good evening Mr Perera"
ඉබේම ඒ පැත්ත බැලුනි .
.....සිරස මිනි මකුටත් ,
මුණ නයි පෙන තුනෙන් බබලත් ,
ඇස් දෙක ගොපලු වෙත් ,
දෙතොල රත්පැහැ සුදුව නල දත් ,
හූ කියාගෙන මහා ගරා සන්නිය ......
ඔහු හිත ගැස්සුනි , ඉබේටම වගේ "ඉතිපිසෝ භගවා ..." කියවෙන්න ආවේය
"Hello Matilda , I could not recognise you at once . how are you ? nice costume "
"thanks ..what about you ? "
" No we are not going , have fun "
"see you "
ඇය යන දෙස මදක් බලා සිටි ඔහු දුම් උගුරක් ඇද , පෙනහල්ලේ තද කර ගත්තේය .
පිලිපීන කෙල්ලෝ දෙන්නෙක් , පොලිස් නිල ඇඳුමක් ද නැතිනම් අබිසරු ලියක්දයි හරියට තෝරා ගත නොහැකි ඇඳුමක් හැඳ , රත්තරන් පැහැ හිසකේ ඇති පොඩි එවුන් දෙදෙනෙක් , pram එකේ දමා තල්ලු කරමින් නිතඹ නටවමින් ඇවිදිත් . ඔවුන්ගේ සැමියන් දෙදෙනා පිටුපසින් ගමන් කරති . ඔවුන් කොකෙසියානුවන්ය . බැල්මට අඩුම ගණනේ බිරියන්ට වඩා අවුරුදු විස්සක්, තිහක් වත් වැඩිමල් ය . (ඔව් නාකි සුද්දෝ දෙන්නෙක් ) .
ටොක් ටොක් ටොක් සපත්තු හඬ අස්සෙන් ඇන්ටන් ජෝන්ස් ගේ හඬ මතුවේ
සල්ලි දීලා ගවුම මැහුවේ ඇඳ ගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ....
මේක halloween නෙමෙයි , හෙළුවෙන් .... තමාටම මුමුනාගත් පෙරේරා සිගරට් කොටය කුණු බක්කියේ පියනට තද කර නිවා දැමීය . ගිලිහුණු රත් පැහැ පුලුඟක් සුළඟට ගසා ගෙන ගියේය .
____________________________________________________________________
පලි :
එක පැත්තකින් පොෂ් වීමේ උන්මාදයෙන් පෙළෙන ලාංකික මැද පන්තියේ අපි .
අනෙක් අතින් ඉගනීමට , රාජකාරියට නොරට ගොස් විශ්ව ගම්මාන සස්කෘතියක අතරමන් වී ඒ තුල අපේ කම හොයා ගන්න . ඇස් දෙක වගේ එය රැක ගන්න යත්න දරන අපි .
මේ halloween ලෙඩේ (?) කොළඹත් පැතිරෙන බවක් මුහුණු පොතෙන් පෙනෙන්නේ .