29 December 2013

පවුරු

"B E L L ...BELL  ...කියන්න  ආයෙත් "

"බෙල් කියන්නේ මොකක්ද මැඩම් ?"

"බෙල් කියන්නේ සීනුව "

"දැන් මේ වචන මට ඇහෙන්න කියවලා ඒවායේ පින්තුර අඳින්න වචනෙට එහා පැත්තේ ."

"හරි මැඩම්  .
මැඩම් , අම්මා කිව්වා පීස් ලබන සතියේ දෙන්නම් කියලා . තාත්තා මේ මාසේ සල්ලි එවුවේ නෑ කියලා කියන්න කිව්වා තාම "

"This  is  very unacceptable නේ . අම්මට කියන්න වෙලාවට දෙන්න ඕනේ කියලා fees  . මම මේ ඉංග්ලිෂ්  ටියුෂන් කරන්නේ සල්ලි හම්බු කරන්න නෙමෙයි උනාට , there should be some arrangement . please  කරුණාකරලා අම්මාට කියන්න ..."

කොල්ලා බිම බලාගෙන ලෑලි  මේසයේ බොල්පොයින්ට් පෑනෙන්, පෙර දිනයක ඇඳි චිත්‍රයක් පිළිසකර කරන්නේය .

"Ok now start doing that exercise ."

නන්දනී පෙරේරා වේවැල් දුර්වර්ණ වුනු ඇඳි පුටුවට බර විය .

"මේ මාසෙත් ගාස්තුව සතියක් පරක්කු වෙයි වගේ  .
බෙහෙත්  පෙති බාගේ බාගේ  බොන්න ඕනේ රෑට  , එතකොට ටිකක් පිරිමහ ගන්න පුළුවන් සතියක් විතර . අමරේ මුදලාලිගේ කඩේ පැත්තේත්  නොගිහින් ඉන්න ඕනේ ටික දවසකට . නැත්නම් ඒ මිනිහා ඔක්කොම ඉස්සරහ කෑගහනවා පොතේ ගාන  කියලා ", ඈ  තමාටම කියා ගත්තාය .

සිත නිරායාසයෙන් කාලය නම් මාවත දිගේ ඇවිදින්නට පටන්ගත්තාය .
__________________________________________________________________________
" වසර තිස්පහක් සේවයෙන් පසු  අද විශ්‍රාම ගන්නා නන්දනී , හෙට ඉඳන් ගෙදරට වෙලා පෙන්ෂන් එක අරන් විශ්‍රාම සුවය විඳින්න පටන් ගන්නවා ... නන්දිනි start enjoying your self , you have earned it  ......"
earned it ...earned it ...earned it දෝංකාරය හිමින් වියැකී ගියේය

සති දෙකකට සෑහෙන විශ්‍රාම වැටුප . සති හතරක් දිග මාසය . මේ අසමතුලිත සමීකරණය , සමතුලිත කිරීමට
නන්දනී පෙරේරා ගුරු මාතාව,  ගෙදර පොඩි කොට්ටම්බා  ලෑලි මේසයක් හා ප්ලාස්ටික්  පුටු කීපයක් අටවා ,  ඉංග්‍රීසි උගන්වන්නට පටන් ගත්තාය .

" සල්ලි කියලම නෙමෙයි , පොඩි  එවුන්ට උගන්වන්න හම්බුවෙනවනේ... ඒ satisfaction  එකම ඇති මල්ලිකා  "

"මමත් කැමතියි නන්දනී , ඒත් කොහේද  මට වෙලාවක් නෑනේ . එක මාසයක් ඕස්ට්‍රේලියා ..දුව ගාව ...ඊට පස්සේ තව මාසයක් ඩුබායි පුතා ගාව "

ඊයම් බරුවක් සේ බර යමක් හද පතුලටම කිඳා බසිනවා නන්දීනිට  දැනුනි .

"අපේ අයත් හැමදාම කරදර කරනවා ඇවිත් එහෙ ඉන්න කියලා ..ඒත් එතකොට මේ ළමයි අතරමන් වෙනවනේ මල්ලිකා . මම කිව්වා මේ ගොල්ලන්ගේ විබාගේ ඉවර වෙලාම එන්නම් කියලා ."

මල්ලිකා ගේ මුවේ ඇඳුනු   සිනහවේ අවඥාව , එක වරම ඈ  ඉදිරියේ ජීවමාන වී  මුළු දර්ශන පථය ම වසා ගන්නට මෙන්, බැලුමක්  සේ පිම්බෙන්නට විය .

 "මැඩම්  මැඩම් ...."
_____________________________________________________________________________

 "මැඩම්.... මම ඉවරයි  ලියලා "

කොල්ලා පිටු අසුවේ කොපි පොත දික් කරැගෙන සිටින්නේය .

"කෝ බලන්න . මේ මොකක්ද මේ ඇඳලා  තියෙන්නේ . මම කිව්වා නේ B E L L ...Bell
මේ මොකක්ද මේ ඇඳලා  තියෙන්නේ "

පිටුවේ දකුණු පැත්තට වෙන්නට හැඳි සමචතුරශ්‍රයකි , එය තුල සමකෝණී  ත්‍රිකෝණයකී.  ත්‍රිකොනය  තුල වෘත්තයකි . ගේට්ටුවේ සීනුවේ ස්විච්චයක සලකුණ කොපි පොතේ  හැඳ  ඇත .

"ඔව් මැඩම්...  මේ බෙල්. අර ලොකු ගෙවල් වල තාප්ප වල තියෙන්නේ . එබුවාහම  බංගලාව ඇතුලේ ටිං ටොං ගාල  වදින්නේ .. මැඩම්ගේ තාප්පෙත්  තියෙන්නේ  . "

කොල්ලා  දත් ඇන්දම පෙන්නා  අහිංසක ලෙස සිනා සෙන්නේය . නන්දනී ට ඉබේටම තාප්පය දෙස බැලුනි . තාප්පයේ කපරාරුව දුර්වර්ණ වී ඉරිතලා  ගොසිනි . තාප්පයේ  ගඩොලින් ගඩොල ගැලවී බිමට වැටෙනු , එක වරම චිත්‍රපටයක් මෙන් ඈ  මනසේ ඇඳෙන්නට විය .  උගුරේ යමක් හිරවෙනවා දැනුනි .

"හ්ම්ම් .... "

ඕ දිගු සුසුමක් හෙලුවෝය


පලි : උසට  තාප්ප බඳින්නේ හොර හතුරන්ගෙන් ආරක්ෂා වෙන්නද නැත්නම් , ඇතුලත ගිනි පිටත නොපෙනේන්නද කියල හිතෙනවා
මේ කතාවේ වස්තු බීජය සත්‍ය කතාවක් ඇසුරෙනි . නමුත් මෙය මගේ හිතට ඕනේ විදියට ලියාගන්න බැරි උනා දෝ කියලත් හිතෙනවා . ඔබට හිතෙන වෙනස් කම් කරුණාකර යෝජනා කරන්න .

ඒ වගේම මේ කතාවට මාතෘකාවක් යෝජනා කරන්න 










11 comments:

  1. බොහෝ දෙනෙක් නොදකින පැතිකඩක්.
    කෙටියි රසයි....
    බොල් හඩ BELL තමයි.

    ReplyDelete
  2. වැඩිදෙනෙක්ගේ කතාවක් කියලා හිතුණා. ඔලුවට ආවේ 'සීනුව' කියන වචනේ. ඒත් 'පවුරු' ලස්සණයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකු. ඔව් අපි ගොඩක් දෙනා ගේ කතාවක්.

      බෙල් කෑල්ල හලන්න තිබුනත් ඒ ටික සත්‍යය නිසා හිත දුන්නේ නෑ

      Delete
  3. අනේ මගේ දරුවෝ...............

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ටියුබ් ලයිට් වගේ.. හරියටම තේරුනේ නෑ සමී

      Delete
  4. අපුරු කතාවක්

    ReplyDelete
  5. "විශ්‍රාම සුව"

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ගැලපෙනවා. ස්තුතියි

      Delete
  6. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete

Have commented