12 January 2012

අපේ ගෙදරට ටී වී එකක් ගෙනල්ලා

"මතකද තාත්තාට තුරුළු වී , පොඩි අප්පොගේ හා නිමල් ගේ කතාව බැලුවා?" අයෙක් අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ මතකය අවුස්සා තිබුණි . 

මට එකපාරටම මතක් උනේ , හතරේ පන්තියේදී අඹ යහළුවෝ පොත කියවපු හැටියි . පොඩි අප්පෝ වැස්සට තෙමි ගෙදර එන හැටි, නුවර ආපන ශාලාවේ එළු මස් රෝල් ගැන ම මනසේ මැවුණු  චිත්ත රූප . හිතේ ඇඳුන  මෛත්‍රී ගේ රුව උනත් කොච්චර ලස්සනද  රූපවාහිනියේ ඇඳුන  රුවට වඩා.

මගේ හිත එතනින් ඈතටත් ඉගිල ගියා. රුපවාහිනය අපේ ගෙදරට ගෙනෙන්නට පෙර සවස් වරුවේ කලේ කුමක්දැයි මට හරියටම මතක නැතත් , ඒ කළු සුදු අඟල් 12 රූප පෙට්ටිය අපේ විසිත්ත කාමරයට ආ දා සිට, සවස හයට ITN වැඩසටහන් ආරම්භ වෙනකන් රුපවාහිනී තිරය ඉදිරිපිට වාඩිවී ඉන්නවා මට තාමත් මතකයි . ජාතික ගීය ප්‍රචාරය වී , වැඩසටහන් පටන් ගන්නකන් , තිරය මත ඇඳුන නෙක් වර්ණ තීරු තීරු දෙස නොඉවසිල්ලෙන් බල සිටිනවා මට තාම මතකයි. ඒ දවස් වල අපේ රුපවාහිනී නැරබීම වැඩිම උනොත් පැය දෙකයි . අටෙන් පස්සේ මොනවා ප්‍රචාරය උනා දැයි මා නොදන්නේ , අටෙන් පසු අපිට එය තහනම් වූ බැවිනි. ඒ දවස් වල Prime Time වූයේ හතහමාරේ සිට අටහමාර විතර වෙනකන් මගේ මතකයේ හැටියට  .
සුදු කෙල්ලෝ නටන Pop in Germany බැලීමද අපේ අම්මගේ තහනමට ලක් වූයේ , කොල්ලා නරක වෙයි කියා ඈ සිතු බැවිනි. තනියම කොල්ලෝ දෙන්නෙක් උස් මහත් කල  ඈගේ මව් සෙනහස කොහොමත් වැඩි පුර පරිස්සම්ය .
නන්දන වින්දන වැඩසටහනේ  විනෝද සමය ඊළඟ දිනයේ නැවතත් සාලයේ රඟ දැක්වූ අපි , ටයි මාමගේ ඇසි දිසි කාටුන් වල දෙබස් කට පාඩමෙන් කිව්වා අපි .

අඹ යහළුවෝ නාට්‍ය බලන්න ගොඩක් කලින් , Lone Ranger, William Tell , දිමුතු මුතු සහ තවත් නම මතක් නොවෙන වැඩ සටහන් වල මතකය දිගේ ඈතට ඇතට යනකොට එක පාරටම නැවතුනා හිත   , "අපිත් දැන් වයසයි නේද " කියලා හිතිලා .

No comments:

Post a Comment

Have commented