30 January 2012

ගෙදර ගුටි කන්නේ නැති ළමයි අත් උස්සන්න


මේ අපේ දියණිය ලජ්ජාවට පත් කල ප්‍රශ්නයි . ඒ ඇය අත එසවූ කිහිප දෙනා ගෙන් අයෙක් වූ බැවිනි .

මම ඇයට අතක් ඔසවා පහරක් තවම ගසා නැත . ඇගේ මවද ඇයට පහරක් ගසා ඇත්තේද එකම එක වරකි .
එදා ඈ ඉකි ගස හඬා, රෑටත් නොකා නිදා ගත්තාය. අපේ කුඩා නිවස පුරා ඉන්පසු සිතට වද දෙන මූසල නිහඬතාවයක් පැතිරිණි .
එදා රෑ මවද රහසේ හැඬුවාය . නමුත් ඇයට අද එය පාඩමකට වඩා අමිහිරි මතකයක් පමණි . දුවට දැන් වයස අවුරුදු නවයක් නිසා ඒ පාඩම ඉගැන්වීමට  දැන් පරක්කු වැඩිය .

අපි පොඩි කාලේ නම් " වේවැල් කොටු නාරන් සියඹලා අතුය ". ඊටත් වඩා අපි බය වුයේ ඔලුව හිල් වෙන්න ඇනෙන  , දීපානන්ද හාමුදුරුවන්ගේ , හාමුදුරු ටොකු වලටය .  
ළමයි හැදුවේ හොදි උයනවා වගේ ය , හැඳි ගා ය . එය හරිද වැරදිද කියා මම නොදනිමි . කට ගසන්නට ගොස් කටේ මිරිස් ගාගත් , පියාගේ බැඳ පටියෙන් පහර කෑ ළමුන් මා සමග පන්තියේ විය.
 සමහර විට ඒ , ඒ කාලයට අනුව තිබු අත්දුටු එකම  ක්‍රමය වෙන්නට ඇත .

දඬුවම අත්‍යවශ්‍ය බව පිලිගනිමි. නමුත් දඬුවම් ශාරීරික විය යුතුම නැත . අතීතයේ දරුණුම වැරදි වලට ,  රැහෙන් පහ කිරීමද දඬුවමක් විය . එය මානසික, සංස්කෘතික දඬුවමකි . නිරය පිලිබඳ සංකල්පය දඬුවමක් නොවේ , වැරදි කිරීම වැළක්වීමේ මගකි.

දැන්  මේ කලියුගයයි. ඉතින් දේවල් සිදුවෙන්නේ වෙනස් ආකාරයටය .  පයින් ගසා එලවූ බල්ලාටද අද අයිති වාසිකම් ඇත .  හරි වැරැද්ද , යුතුකම් , යුක්තිය පරයා අයිතිවාසිකම් මුල්තැන ගෙන ඇත . බටහිර සිට මේ සීත සුලඟ අප පෙරදිග සංස්කෘතිය පුරාද පැතිර යමින් පවතී.  
එනමුදු , අදද  වේවැල් කසාය නිතර නිවසේ මෙළවෙන නිවෙස්ද ඇත . ලංකවෙන් එතෙර සිටින මගේ සමහර මිතුරන්ද , අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නිසාවෙන්දෝ ,  මේ බෙහෙත පිළිපදිති . 
අනික මගේ දියණියගේ පන්තියේ අත් පහල යොමා ගෙන සිටි බොහෝ දරුවන් නිල් ඇස් , රන් කෙස් ඇති අයය. එය කෙසේ ගලපන්නදැයි මට නොතේරේ 
එනමුදු , පාරේ  කෙලින් නොයන වසු පැටවෙක් සහ ජීවන මගේ කෙලින් නොයන දරු පැටවෙක් , යළි මඟට  ගන්නා ක්‍රමය එකක්ම විය නොහැකි  බව  සිතමි 

No comments:

Post a Comment

Have commented